. හුරුළු අන්තර්ජාතික ජෛවගෝල රක්ෂිතය පිළිබඳව දැන ගනිමු

හුරුළු අන්තර්ජාතික ජෛවගෝල රක්ෂිතය පිළිබඳව දැන ගනිමු

හුරුළු රක්ෂිතය යනු ලංකාවේ පිහිටා ඇති තවත් වටිනා රක්ෂිත භූමියකි. මෙය අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්ක මායිම් කරගෙන හෙක්ටයාර 25,500ක් පුරා පැතිර ඇත. හබරණ ත්‍රිකූණාමල මාර්ගයේ පැමිණ හබරණ දුම්රිය හරස්පාර පසුකොට මීටර 100ක් පමණ ගමන් කළ විටදී මෙම රක්ෂිතය හමුවේ. මෙය 1942 වසරේදී රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර 1977 දී හෙක්ටයාර 512ක ප්‍රමාණයක් ජෛව ගෝල රක්ෂිතයක් ලෙස නම්කර ඇත. 2007 වසරේදී මෙහි හෙක්ටයාර 1000 ක භූමි ප්‍රමාණයක් පාරිසරික උද්‍යානයක් ලෙස ජනතාවට විවෘත කරන ලදී. මෙම උද්‍යානය අලීන්ගේ පාරාදීසයක් බැවින් අලි බැලීමට කැමති සංචාරකයින්ට මෙම හුරුළු රක්ෂිතය කදිම ස්ථානයක් වනවා නියතය.

මෙම රක්ෂිතය පුරා වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර අඩංගුවනමුත් ජෛව විවිධත්වය හා ජල විද්‍යාත්මක වටිනාකම අතින් ඉහළ මට්ට්මක ඇති නිසා ජෛව ගෝල රක්ෂිතයක් ලෙස හා සංරක්ෂණ වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. මෙම ප්‍රදේශයේ සාමාන්‍ය වර්ෂාපතනය මිලිමීටර 1600ක් පමණ වන අතර ප්‍රධාන වශයෙන වර්ෂාව ලැබෙන්නේ ඔක්තෝබර් - දෙසැම්බර් කාලයටයි. මෙම ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සෙයිස් 27 -30 අතර වේ. මෙම වන රක්ෂිතය හුරුළු වැවේ ජල පෝෂක ප්‍රදේශයක් ලෙස වැදගත් වෙයි.

මෙම වනාන්තරයට ආසන්නයේ තල්ගෙඩි කන්ද වන ආරාමය, ගල්කණු, ගල්ගුහා, පොකුණු හා ස්මාරක පිහිටා ඇත. ශාක විවිධත්වය සැලකූ විට ප්‍රමුඛ ශාක ලෙස බුරුත, පළු, කළුවර, වීර, හල්මිල්ල, කුඹුක්, මී, මිල්ල, කොහොඹ, තිඹිරි හා නෑබඩ යන ශාක වැදගත් වේ.

ලංකාවට ආවේණික පක්ෂීන් වන බොරත් කොඩ කෑරලා, වළි කුකුළා, නිල් මුහුණැති මල් කොහා මෙහි දැකිය හැකිවේ. ක්ෂීරපායී සතුන්වන වඳුරා, මුවා, කබල්ලෑවා, රිළවා, ඌරු මීයා, මුගටියා, හාවා, වල් බළලා මෙන්ම අලීන්ද මෙහි බහුලවේ.

සුලභ තෘණ භූමි, හා තැනිතලා භූමි ස්වභාවයන් අලීන්ගේ පැවැත්මට කදිම ලෙස සැකසී ඇති නිසා මෙය අලීන්ට කදිම නිජ භූමියකි. මේ නිසා හුරුළු රක්ෂිතය යනු අලි බැලීමට කදිම තෝතැන්නක් බව කිව යුතුමය.


(මෙම ලිපිය සැකසීමේදී ජෛව විවිධත්ව ලේකම් කාර්‍යාලය, මහවැලි සංවර්ධන හා පාරිසරික අමත්‍යාංශයේ ජෛව විවිධත්වය හා බැඳුණු රක්ෂිත බිම් කෘතිය පාදක කරගෙන ඇත.)

0 Comments