. කලුගල ගැරඩි ඇල්ල සොයා ගැරඩිගල කදු මුදුනට ගිය අපේ ගමන

කලුගල ගැරඩි ඇල්ල සොයා ගැරඩිගල කදු මුදුනට ගිය අපේ ගමන

කොරෝනා තත්වය පහව යෑමත් සමග ලංකාවේ වනෝද්‍යාන හා සත්වෝද්‍යාන නැවත දේශීය සංචාරකයින් සදහා විවෘත විය. මේ සමගම SL Traveler අපේ කණ්ඩායමත් මාස තුනකට පසුව අපගේ පළමු දේශීය සංචාරය නිම කළේය. එනම් මෙවර අපගේ සංචාරක ස්ථානය වූයේ මහනුවර දිස්ත්‍රික්කයේ නැගෙනහිර දෙසට වන්නට නක්ල්ස් කදු පාමුල වූ සංචාරක ස්ථානයක් වෙතයි. එනම් උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සුන්දර ගැරඩි ඇල්ල වෙතයි. ලංකාව තුළ ගැරඩි ඇල්ල නමින් හැදින්වෙන දිය ඇලි කීපයක්ම වෙයි. නමුදු මේ අප ගමන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ කලුගල ගැරඩි ඇලි දාමය වෙතයි.

මේ ගමන සිදුවූයේ ජුනි මස අවසන් ඉරිදා දිනය තුළයි. අපගේ ගමන උදෑසන 7ට ආරම්භ වූයේ දිගන නගරය හරහාය. මෙවරද අපේ ගමන් මාධ්‍ය වූයේ ත්‍රීරෝද රථයයි. අපගේ කණ්ඩායමේ හතර දෙනෙක් විය. උදෑසන 8ට පෙර අප තෙල්දෙණිය පසුකොට ගල්මල් ඔය අසල නතර වූයේ අපේ විඩ්යෝවේ පළමු රූගත කිරීම උදෙසාය. මේ මොරගහමුල ගල්මල් ඔය අසලට එනවිට අපට වික්ටෝරියා ජලාශය තැන් කීපයකින්ම දර්ශනය වූ අතර ඈතින් බඹරගල රජමහා විහාරය හා පෙට්ටිගල කදු මුදුනද දර්ශනය විය.

ගල්මල් ඔය පරන පාලම මතට ගිය අප එහිදී අපගේ වීඩියෝවේ පළමු රූගත කිරීම කරන ලදී. එම කාලය තුළ නක්ල්ස් කදුකරයට වර්ෂාවේ අඩුවක් තිබුණු නිසාමදෝ ගල්මල් ඔය තුළ පැවතියේ සුලු දියදහරාවක් පමණි.  මෙතැන් සිට අප මොරගහමුල හා මැදමහනුවර නගර පසුකොට පැමිණියේ දිවිත්ව වංගු සහිත මැදමහනුවර රොටී වංගුව වෙතයි. එම වංගු දෙක හා ඒ අවට ප්‍රදේශය තුළ එදින උදෑසන පැවතියේ ඉතාමත් මනස්කාන්ත ගතියකි. එහි උඩම වංගුවේ අපගේ ත්‍රීරෝද රථය නවතා අපගේ වීඩියෝවේ දෙවන රූගත කිරීම් සිදුකරන ලදී. මෙම රොටී වංගුව මතින් ඇදුණු අපගේ ගැරඩි ඇල්ල චාරිකාවේ සම්පූර්ණ වීඩියෝව පහතින් අඩංගු වන අතර එම වීඩීයෝව නැරඹු විට මෙම ලිපියේ අඩංගු ප්‍රදේශ වල සුන්දරත්වය මනාව ඔබට පැහැදිලි වනවා ඇත.

වීඩියෝව මෙතනින්;

 

 

රොටී වංගුවෙන් අනතුරුව අප ලගා වූයේ සුන්දර හුන්නස්ගිරිය නගරයටයි. එම අතරතුරේදී අපට මැදමහනුවර රජගල කන්ද හා මනස්කාන්ත නවනගල කන්ද දිස්වූයේය. හුන්නස්ගිරිය නගරයේදී අපගේ ගමනේ තවත් සගයන් දෙනෙනෙකු වන සුමිත් හා ඉනූෂ හමුවිය. අපගේ ත්‍රීරෝද රථය පසුපසින් ඔවුන් පැමිණියේ ස්කූටි රථයකිනි. මින් පසුව අප ලගා වූයේ තවත් සුන්දර නගරයක් වන උඩදුම්බර නගරයටයි. ඒ වන විට වේලාව උදෑසන 9.15 පමණ වී තිබුණි. උඩදුම්බර නගරයේදී අප උදෑසන ආහාරයට වඩේ හා ආප්ප මිලදී ගත් අතර මදක් එහි රැදුනේ අපගේ චාරිකාවට සම්බන්ධ වන තවත් මිතුරෙකු වන හසිත පැමිණෙන තුරුය. ඔහුගේ සුරතල් නාමය වූයේ ‘බනිස්’ යන්නයි. මෙතැන් සිට උඩදුම්බර නගරයේ ඔරලෝසු කණුව අසලින් වම් පසට වූ කලුගල මාර්ගයට අප පිවිසියේ මහනුවර - මහියංගණ A26 මාර්ගයෙන් ඉවත් වෙමිනි.

මෙතැන් සිට අප අපගේ සංචාරක සගයන් සමග කලුගල මාර්ගයේ ඉදිරියට ඇදෙන්නට විය. කෙත්වතු පසුකරමින් යන අප අතරමගදී කිරිගන්කුඹුර හා තලගුණේ යන ග්‍රාමයන් පසුකර ඉදිරියට ඇදෙන්නට විය. එම යන අතරමගදී අපට තවත් සුන්දර දිය ඇල්ලක් වන තලගුණේ ඇල්ලේවෙල ඇල්ලද පසෙකින් දර්ශණය වූයේය. අප එතැන නතර නොවූයේ එම දිය ඇල්ලේ ජලය ඉතා මද වූ නිසාය. ඉදිරියට දිගටම ඇදුණු අපට ඈතින් කෙහෙල්පොත්දොරුව හා යහන්ගල යන කදු මුදුන් දෙක පැහැදිලිව දැකිය හැකිවිය. කලුගල මාර්ගයේ ඉදිරියට ගිය අප 5 කණුව නම් ස්ථානයෙන් වමට හැරුනේ සුමිත්ගේ මග පෙන්වීම අනුවය. මෙම ගමනේදී සුමිත් අපට මාර්ගෝපදේශකයෙකු වූයේ ඔවුන් මීට පෙර අවස්ථා දෙකකදී ගැරඩි ඇල්ල හා ගැරඩිගල කදු මුදුන තරණය කර තිබූ බැවිනි.

5 කණුව ස්ථානයෙන් වමට හැරුනු අප පටු මාර්ගක් ඔස්සේ ගැරඩිගල ගම ඇතුලට ඇදෙන්නට විය. එම මාර්ගයේ මදක් යනවිට ඈතින් අපගේ සංචාරක ස්ථානය වන ගැරඩි ඇල්ල හා ගැරඩිගල කදු මුදුන දිස්විය. එයින් අප මහත් සතුටට පත්විය. මෙම පටුමගේ ගමනාගමනය එතරම් පහසු නොවීය. ත්‍රීරෝද රථය ගමන් කලේ ඉතා සෙමින් වූ අතර ඊට හේතුව වූයේ මාර්ගයේ සමහර තැන් අබලන්ව පැවතීමයි. මෙලෙස කිලෝමීටර 4ක් පමණ ගියවිට අප එක්තැනක නතර වූයේ සුමිත්ගේ උපදේශ අනුවය. එම ස්ථානයේ රථය ගාල් කළ යුතු බව පැවසූ සුමිත් ගම් වැසියෙකු සමග කතා කොට අප පැමිණි රථ සියල්ල එහි ගාල් කිරීම කළේය. එම ස්ථානය ගැරඩිගල කදු මුදුනේ පාමුල වූ අතර එහි සිට කන්දේ හා දිය ඇල්ලේ මනරම් දර්ශනයක් දැකිය හැකිවිය. මින් පසුව අප අපගේ ආම්පන්න සියල්ල රැගෙන පයින් ඉදිරියට ඇදුනේ කන්ද තරණය කිරීමේ අදිටනිනි.

කන්ද තරණය ආරම්භ වන්නේ එක්තරා ගොවි මහතෙකුගේ වත්තක් මැදිනි. ඔබ කන්ද මුදුනට යාමට පෙර ඔහුගේ අවසරය ගැනීම අනිවාර්‍ය වන්නේ පෞද්ගලික ඉඩමක් තුළට යාමට කිසිවෙකුට අවසරයක් නොමැති නිසාය. මෙහිදී ඔබට අවසර ගාස්තු ලෙස යම්කිසි මුදලක් ඔහුට ලබාදීමටත් සිදුවේව්. අප සතුව උඩදුම්බර ප්‍රදේශයේ කීපදෙනෙක්ම සිටි නිසාත් කලින් ගැරඩි ඇල්ලට ගියපු අය කීපදෙනෙක් සිටි නිසාත් ඔහු අපගෙන් මුදල් ගැනීම ප්‍රතිකේෂ්ප කළේය. ගොවි මහතාගේ වත්ත මැදින් කිලෝමීටර භාගයක පමණ දුරක් අප කන්ද මුදුනට ගමන් කරමින් එක් වරම කන්දේ තැනිතලා සානුවක් වැනි තැනකට පැමිණියේය.

එම ස්ථානය ඉතා මනරම් ස්ථානයක් සේ අපට වැටහුණේ අසලම දර්ශනීය හෙල්මලු වෙල් යායක් හා ගැරඩි ඇල්ලේ අමුතුම දර්ශනයක් එතැනට පෙනුනු නිසාය. තවද කලුගල හා අනෙක් ප්‍රදේශද මනරම්ව අප නෙත ගැටුණි. තවත් පසෙකින් වෙලන්ගොල්ල පතන, යහන්ගල හා කෙහෙල්පත්දොරුවේගල කදු මුදුන්ද අපට මනරම්ව දැකිය හැකිවිය. දැඩි සුළග අපව ගසාගෙන යාමට උත්සුක වන මොහොතක වීඩියෝ රූගත කිරීමක් දිනුක විසින් මහත් උත්සහයක් දරා සිදු කරන ලදී. එම ස්ථානයේ මදක් වෙලාවක් රැදුනු අපි කන්ද තරණය නැවත වරක් ආරම්භ කළෙමු. මෙතැන් සිට කදු මුදුන තෙක් ගමන ඇත්තේ මානා කැලයක් හරහා වන බව අපට කලින්ම වැටහී තිබුණි.

මානා කැලය මැදින් ගමන් කළ අප ඒ අතරමගදී අපගේ වීඩියෝවට අවශ්‍ය නොයෙකුත් රූගත කිරීම් කීපයක්ම සිදුකර ගත්හ. මද දුරක් ගමන් කළ අපට දිය ඇල්ලෙන් පැමිණි කුඩා දොළ පහරක් දර්ශනය විය. එය අප ඉහත දැක්වූ වීඩියෝවේ අන්තරගතවේ. එන්න එන්නම කදු නැගීම අපහසු වූ අතර අප සැමදෙනාගේම වෙහෙසද එන්න එන්නම වැඩි විය. මානා කැලය මැදින් තිබෙන පාර මීට පෙර සුමිත් විසින් ගමන් කර තිබූ නිසා අප කන්දේ ඉහලටම ඇදුනේ කිසිදු බියකින් තොරවය. මෙලෙස ගමන් කරන අපට එක්වරම පටු ලිස්සන සහිත තැනක් හමුවිය. එහි ගමන් කිරීම අපහසු බව තේරුම්ගත් අප ජංගම දුරකථන හා අනෙක් වීඩියෝගත කරන උපකරන බෑගයට දමා ගත්හ. ලිස්සන සුළු තැනක් වූ එම ස්ථානයේ නැගීම තරමක් කටුක අත්දැකීමක් වූ මුත් එහි ලණු කීපයක් එක්කල කඹයක් වූ නිසා වැඩි අපහසුවකින් තොරව එම ස්ථානය තරණය කිරීමට අපේ කණ්ඩායමට හැකිවිය.

මින් පසුව එතරම් වැඩි අපහසු තැන් හමු නොවූ අතර මද දුරක් කන්ද මුදුනට ගමන් කළ අපට යළිත් වටක් තරමක් තැනිතලා බවින් යුතු සානුවක් හමුවිය. පළමු වරට ගැරඩි ඇල්ලේ ගලන ජල පහර කෙලින්ම මුන ගැසුනේ මෙතැනදීය. අප අපගේ වෙහෙස නිවාගෙන ඇල්ල මතින් ගමන් කරන ජල පහරෙන් ජලය පානය කලෙමු. මෙම ස්ථානයේ දිය පහර නොයෙකුත් අන්දමට අප විසින් රූගත කිරීම් කලෙමු. දිනුක ඇතුලු පිරිස අප සිටි ස්ථානයෙන් මදක් පහලට ගමන් කර ගැරඩි ඇලි දාමයේ තුන්වන දිය ඇල්ලේ මුදුනට ගියෝය. දිය ඇල්ලේ ජලය තිබුණේ ඉතා අඩුවෙන්ම නිසා ඔවුන් ඇල්ල මුදුනේ වූ ගල් තලාවේ හිදිමින් විවිධාකාර රූගත කිරීම් කීපයක්ම සිදු කළහ. අප සිටි ස්ථානයට පහලින් තුන්වන දිය ඇල්ල කඩා හැලුණු නිසා එම දිය ඇල්ල අපට හරියාකාරව දර්ශනය වූයේ නැත. අධික සුළග නිසා පහලට කඩා හැලෙන ජලය නැවත ඉහලට ඇදෙමින් අපව කීපවරක්ම තෙත් කලේය.

මෙතැන් සිට තවත් මද දුරක් ඉහළට ගිය අපට ගැරඩි ඇලි දාමයේ දෙවන දිය ඇල්ල නෙත ගැටුණි. එතැන මද වේලාවක් රැදුනු අප ඡායාරූප කීපයක් හා වීඩියෝගත කිරීම් කීපයක් සිදු කළේය. මින් පසුව අපට උදාවූයේ අපේ කදු තරණයේ දුෂ්කරතම අඩියයි. එනම් පටු ගල් දෙබොක්කවක් මැදින් කඹයක ආධාරයෙන් නැගීමට සිදුවීමයි. මෙම අභියෝගය අපේ කණ්ඩායම ව්සින් වැඩි අපහසුතාවයකින් තොරව නිම කරන ලදි. එම ස්ථානයෙන් ඉහලට ගියවිට අප දුටු දර්ශනයෙන් අප මදක් බිය විය. මන්ද එහි සිට පෙනෙන පහළ ප්‍රපාතයේ ගැඹුර බියජනක එකක් වූ නිසාය. තවත් මදක් උඩට ගිය අපට ගැරඩි ඇලි දාමයේ පළමු දිය ඇල්ල හෙවත් දිය ඇලි සමූහයේ උසම දිය ඇල්ල නෙත ගැටුණි.

එම ඇල්ල අනෙක් ඇලි සියල්ලටම වඩා දර්ශනීය එකක් විය. ජලය මදක් අඩු නිසා එහි සුන්දරත්වය අඩුව ඇති බවද අපට සිතුනි. ඇල්ලේ පහලම අඩියට ගිය අපේ කණ්ඩායම එහි මදක් රැදෙමින් ඡායාරූප කීපයක්ම ලබා ගත්තේය. ඉන් පසුව ලිස්සන සුළු ප්‍රපාතාකාර බෑවුමක ඉහළට අප කණ්ඩායම ගමන් කළේ ගැරඩිගල කදු මුදුනේ වූ කොඩිය ලගට යෑමේ අටියෙනි.

ලිස්සමින් හා අවට වූ මානා ගස්වල එල්ලෙමින් අප කදු මුදුනට සේන්දු විය. කදු මුදුනට පැමිණි අප එහිදී බිම වාඩිවූයේ තිබුණු අධික වෙහෙස නිවා ගැනීමටය. අවට සුන්දරතවය නරඹමින් මදක් වාඩිවී සිටි අප කණ්ඩායම ගැරඩි ඇල්ල මුදුනේ වූ ගල් තලාවට ගමන් කළෝය. එතන වූ දිය පහර ප්‍රපාතයට ඇද හැලීම නිසා මෙම දිය ඇලි දාමය නිර්මාණය වී ඇත. උස් රහිත මානා ගස් වලින් යුතු ගැරඩිගල මුදුන ඇත්තෙන්ම අලංකාර ස්ථානයක් විය. අපගේ ඉහත වීඩියෝව නරඹන ඔබට එහි සුන්දරත්වය දැකිය හැකිවේ.

නක්ල්ස් වනාන්තරයෙන් ඇදෙමින් වූ එම ජලය නැවුම් බවකින් හා තරමක සිසිල් බවකින් යුක්ත විය. අපගේ පිපාසාව සංසිදුවේ එම ජලයයි. මදක් එහි රැදෙමින් ගිමන් හල අප එහිදී අප ගෙන ආ ආහාර අනුභව කළෝය. පසුව සියලුදෙනාගේ කැමැත්ත මත ගල් තලාවේ ගිනිමැලයක්ද අපේ කණ්ඩායම දැල්වූහ. කන්ද මුදුනේ නොයෙකුත් තැන්වල ඇවිද යමින් අවට පරිසරයේ සුන්දරත්වය කැමරා කාචවලට අසුකර ගැනීමට අපේ කණ්ඩායම කටයුතු කළහ. එහිදී අවටින් වූ කදු පන්තිවල සුන්දරවය විශේෂයෙන් මතක් කළ යුතුමය. ඒ අතර යහන්ගල, කෙහෙල්පොත්දොරුවේගල, බළල්ගිර, දුම්බානගල, කොබෝනීලගල, දෝතළුගල හා නවනගල කැපී පෙනුණි. අවටින් කලුගල ගම, තලගුණේ, වෙලන්ගොල්ල පතන, ඩීන්ස්ටන් හා ලූල්වත්ත ප්‍රදේශද මනරම්ව අපට දිස්විය. කන්ද මුදුනේ කලින් පැමිණි සංචාරකයින් ගැසූ ගිනිමැල වල ලක්ෂණද බොහෝවිය. නමුදු එහි පැමිණි සංචාරකයින් කන්ද මුදුන දූෂණය කර තිබුණේ නැත. තවද කන්ද මුදුනට අධික සුළං තීව්‍රතාවයක්ද පැවතියේය. පැය එක හමාරක පමණ කාලයක් කදු මුදුනේ රැදුනු අප කන්ද බැසීමට තීරණය කළෝය.

කදු බැසීම එතරම් අපහසු නොවූ අතර කන්ද නැගීමේදී හමුවූ අපහසු තැන් අපේ කණ්ඩායම පහසුවෙන් තරණය කළේය. පැයක පමණ කාලයකින් අපේ කණ්ඩායම සියළු වීඩියෝ රුගත කිරීම් අවසන් කර නැවත කන්ද පාමුලට සේන්දු විය. වැඩි වේලාවක් නොරැදුනු අප හැකි ඉක්මනින් නිවෙස් බලා පිටවිය.

කෙසේවූවද මෙම සංචාරය අප ගමන් කළ අති සාර්ථක සංචාරයක් ලෙස හැදින්විය හැකිය. එම ගමනට කිසිදු ලොකු බාධාවක් එල්ල නොවීය. මෙය අතිශයින්ම වින්දනීය එකක් වූ අතර තරමක හෝ කනස්සලක් දැනුනේ දිය ඇලිවල ජලය ප්‍රමාණවත් තරම් නැතිවීම පමණකි.

 


0 Comments