. යහන්ගල තරණයට වෙලන්ගොල්ල පතන පිහිටි උඩදුම්බර කලුගලට යමු

යහන්ගල තරණයට වෙලන්ගොල්ල පතන පිහිටි උඩදුම්බර කලුගලට යමු

යහන්ගල යනු පසුගිය වසර දෙක තුළදී දේශීය සංචාරකයින් අතර වඩාත් ජනප්‍රිය වූ ස්ථානයකි. රාවණා පුරාවෘත්තය සම්බන්ධ කෙරෙන ස්ථානයක් වීමත් සීගිරිය වැනිම හැඩයකින් යුතු අමුතුම කදු මුදුනක් වීමත් ඊට හේතු වූ බව අපට සිතිය හැකිය. යහන්ගල යනු නක්ල්ස් කදුවැටි කලාපයටම අයත් තවත් එක් කදු මුදුනක් වන අතර එය පිහිටා ඇත්තේ නක්ල්ස් වල ගිණිකොණ දිග බෑවුමේය.


නක්ල්ස් කදුකර කලාපය යනු හෙක්ටයාර 22000 ක් පුරා පැතිර ඇති වැදගත් පරිසර කලාපයකි. මහනුවර හා මාතලේ සම්බන්ධ කෙරෙන මේ කදුකර කලාපය තරමක් හුදෙකලා ගතියක් පෙන්නුම් කරයි. ඊට හේතුව වන්නේ මේ කදුකර කලාපයට පිවිසීමට ඇති අපහසුතාවය ලෙස හැදින්විය හැකිය. නක්ල්ස් කදුකර කලාපයේ හුදෙකලා ගම්මාන 50ක් පමණ ඇති බව මූලාශ්‍ර සදහන් කරන අතර ඉන් වඩා ජනප්‍රිය වූ ඓතිහාසික ගම්මානයක් ලෙස මීමුරේ හැදින්විය හැකිය. මීමුරේ ගම්මානය තවද ජනප්‍රිය වීමට එම ගමටම ආවේණික වූ ලකේගල කදු මුදුනද බලපෑවේය. වර්තමානය වනවිට නම් මීමුරේ යනු තවත් හුදෙකලා ගම්මානයක් නොවේ. වෙලන්ගොල්ල පතන යනු නක්ල්ස් කදුකර කලාපයේ පිහිටි පිටවල පතන වැනිම තවත් එක් පතනකි. මේ පතන තුළ ලෙකේගල කදුමුදුනද පිහිටා ඇති අතරම එහිම පිහිටා ඇති තවත් කදු මුදුනක් ලෙස අද අප කතා කරන යහන්ගල හැදින්විය හැකිය.

මෙම කදු මුදුන අයත් වන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටයි. ඔබ යහන්ගල සංචාරයක් සදහා යාමට අපේක්ෂා කරන්නේ නම් මුලින්ම පැමිණිය යුත්තේ මහනුවර නගරයට හෝ මහියංගණය නගරයටයි. මහනුවර සිට ගමන් කරන්නේ නම් උඩදුම්බර හෝ මහියංගණය බස් රථයක පැමිණ උඩදුම්බර නගරයෙන් බැසිය යුතුය. කිලෝමීටර 45ක් පමණ දුර මේ ගමනට පැය එක හමාරක් පමණ කාලයක් ගතවේ. මහියංගණයේ සිට උඩදුම්බරට දුර කිලෝමීටර 30ක් පමණය. උඩදුම්බර නගරයේ සිට ඔබ දෙවනුව කලුගල ග්‍රාමය වෙත ගමන් කළ යුතුය. සෑම පැයකට වරක්ම කලුගල වෙත බසයක් එහි සිට දිවෙන අතර උඩදුම්බර හා කලුගල අතර දුර කිලෝමීටර 12ක් පමණ වේ. මේ යන ගමනේදී ඔබට තවත් සොදුරු දිය ඇලි දාමයන් දෙකක් මුන ගැසෙන අතර ඒ තලගුණේ ඇල්ල හා ගැරඩි ඇල්ලයි. කෙත්වතු මැදින් දිවෙන මේ මාර්ගයද අතිශය මනරම් එකකි.

ඔබේ ගමනාන්තය වන කලුගලට පැමිණි විට යහන්ගල දෙසට යන මාර්ගය හදුනාගැනීම අපහසු නොවන්නේ ප්‍රාදේශීය සභාව මගින් නාම පුවරු ආදිය සකස් කර තිබෙන නිසාය. ගමේ ජනතාවගෙන්ද ඔබට මේ ගමනේ මග තොරතුරු විමසීම කළ හැකිය. කලුගල පාර අවසන් වන තැනින් පසුව වනය පටන් ගන්නා අතර එය උඩක්කාව ගම දෙසට දිව යයි. මෙහිදී මාර්ගය දෙකට බෙදෙන තැනක් හමුවන අතර එයින් ඔබ ගමන් කළ යුත්තේ වම් පසටයි. එහි දිගටම ගමන් කළ විට ඔබ පිවිසෙන්නේ වෙලන්ගොල්ල පතන වෙතයි.

වෙලන්ගොල්ල පතන යනු මානාවලින් වටවූ සුන්දර පතනකි. මෙහි කුරු වන අලි වෙසෙන අතර යහන්ගල යන ඔබ මෙම පතන හරහා ගමන් කිරීමේදී දැඩි විමසිලිමත්ව ගමන් කළ යුතුවේ. පතනේ එක් එක් තැන්වලට යහන්ගල පර්වතය විවිධාකාර ස්වරූප වලින් දැකිය හැකිය. කන්දේ වම් පසින් මෙන්ම දකුණු පසින්ද වෙත ගමන් කිරීම කළ හැකිය. වෙලන්ගොල්ල පතනේ උඩක්කාව ග්‍රාමය දෙසට වන්නට ඕනෑ තරම් ජල මූලාශ්‍ර ඇති නිසා ජලය සොයා ගැනීම එතරම් අපහසු නොවේ. කන්ද තරණය තරමක් අපහසු වන අතර කලින් සංචාරකයින් ගමන් කළ මාර්ගය ඇති නිසා නව මාර්ග සෙවීම අනවශ්‍ය වේ. පතනේ වම් පසින් ගොස් කන්ද තරණය තවත් අපහසු කටයුත්තක් බව මූලාශ්‍ර සදහන් කරන්නේ එහි වැඩි බෑවුම් තැන් හමුවන නිසාවෙනි. වෙලන්ගොල්ල පතන හරහා යන ගමනේදී කලුගල සිට දුර කිලෝමීටර 7කි. උඩඉලුක ගම හරහා යන්නේ නම් එහි දුර කිලෝමීටර 3කි.

යහන්ගල පර්වතය මුදුනේ අක්කර 2ක පමණ වපසරියකින් යුක්ත වන අතර කිසිදු ගසක් එහි නොමැත. තැනින් තැන අකුණු වැදීම නිසා කැඩී ගිය පාෂාණ කොටස් දැකිය හැකිවේ. මුදුනට පෙනෙන අවට විචිත්‍රත්වය නෙත් සිත පැහැර ගන්නා බව නොරහසකි. මෙහි සිට මහියංගණය සිට දෙහිඅත්තකණ්ඩිය දෙසට දිවෙන මහවැලි ගං කොමලිය, රත්කින්ද හා උල්හිටිය ජලාශ මෙන්ම සොරබොර වැවද මනරම්ව දැකිය හැකිවේ. ගම් වශයෙන් ගත් කළ උඩගල් දෙබොක්ක, උඩත්තාව හා මීමුරේ යන නක්ල්ස් සැගවුණු ගම්මානද දැකිය හැකිවේ. මේ අසලම තිබෙන තවත් පුරාණ ගම්මානයක් ලෙස ගල මුදුන ග්‍රාමය හැදින්විය හැකිය. එය අයත් වන්නේ මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටයි. එසේම කදු වශයෙන් ලකේගල, මැදමහනුවර, දුම්බානගල හා ගැරඩිගල ත් පැහැදිලිව දැකිය හැකිවේ. මේ අසලම පිහිටි තවත් ප්‍රසිද්ධ කදු මුදුනක් වන්නේ කෙහෙල්පත්දොරුවයි. වෙලන්ගොල්ල පතන හරහා ගියහොත් ඔබට පහසුවෙන් ඒ වෙතද ගමන් කළ හැකිවේ. කෙහෙල්පත්දොරුවට පෙනෙන යහන්ගල දර්ශනය අත්ශයින්ම දැකුම්කලු වූ දර්ශනයක් බව ඡායාරූප බැලුවොත් ඔබටද පසක් වනවා නොඅනුමානය.

යහන්ගල තවද ජනප්‍රිය ස්ථානයක් වන්නේ රාවණා රජුගේ සිරුර මෙම පර්වතය තුළ මිහිදම් කළා යන කරුණ නිසාය. එසේම මෙම පර්වතය ආශ්‍රිතව ගලේ බණ්ඩාර දෙවියන් වැඩ සිටි බවද ප්‍රදේශයේ ජනතාව අතර ජනප්‍රවාදයක් පවතී. පසුකාලීනව භාවනායෝගීව වැඩ විසූ ආගමික සාන්තුවරයෙක්ද මෙහි සිටි බව මූලාශ්‍ර සදහන් කරන අතර කටාරං කෙටූ ගල්ලෙනක්ද ඇති බව කියැවේ. සංචාරක ස්ථානයක් සේම මෙම ඓතිහාසික කාරණා නිසාද යහන්ගල යනු වැදගත් ස්ථානයක් ලෙස සදහන් කළ යුතුමය.

එසේනම් ඔබේ මීලග සංචාරක ගමනාන්තයන් අතරට මේ සුන්දර යහන්ගල තරණයත් එකතු කරගන්න. ඔබට මෙම කදු මුදුනේ හෝ වෙලන්ගොල්ල පතන තුළ Camping කිරීමද කළ හැකිය. වියළි කාලයේදී ඔබ Camping කරන්නේ නම් ගිනිමැල දැල්වීමේදී වඩා ප්‍රවේශම් වන්න. මේ අසලම ඇති තවත් පතනක් වන මැදකැලේ පතනද සුන්දර සංචාරක ඉසව්වක් බව සදහන් කළ යුතුම වේ.

සැමදාම මෙන් ආදරයෙන් ඉල්ලා සිටින දේ නම් පොලිතින් ප්ලාස්ටික් වැනි දේ ගෙන ගොස් මේ අවට පරිසරය විනාශ නොකරන්න කියාය. සැමවිටම ගම් වැසියන් කියන දේට අවනත වන්න. එසේ නොවුනහොත් ඔබට සංචාරය අවලංගු කොට නැවත නිවෙස් කරා යාමට සිදුවනවා නියතය. එබැවින් විනීතව සංචාරය කොට නැවත පා සටහන් පමණක් ඉතිරි කර පැමිණෙන්න.....


0 Comments