. නවනගල කන්ද මුදුන සොයා ගිය අපේ භයානක ක්‍රියාදාම චාරිකාව

නවනගල කන්ද මුදුන සොයා ගිය අපේ භයානක ක්‍රියාදාම චාරිකාව

නවනගල කදු මුදුන ගැන මීට කලින් අප ඔබ වෙත ගෙන ආවා මතක ඇති. අද අප ඔබ වෙත ගෙන එන්නේ අපගේ නවනගල ක්‍රියාදාම චාරිකාව පිළිබඳව සම්පූර්ණ වාර්තාවකි. මේක ඉදිරියට මේ කදු මුදුන වෙත සංචාරය කරන හැමෝටම ගොඩක් වැදගත් ලිපියක් වේවි යන්නයි අපේ අදහස.

මේ කදු මුදුන ගැන කෙටියෙන් සදහන් කරනවානම් මෙය නක්ල්ස් කදුකර කලාපයේ දකුණු දිග බෑවුම් කලාපයට අයත් වන කදු මුදුනකි. අන්තර්ජාල මූලාශ්‍ර අධ්‍යනය කළ විට අපට පෙනී ගියේ මෙම කදු මුදුන පිළිබඳව වැඩි තොරතුරක් කිසිම තැනක නොවූ බවයි. නමුත් අපව මෙම චාරිකාවට උනන්දු කරනු ලැබූයේ ලක්දසුන් වෙබ් අඩවියි. ඔවුන් ඒ වන විටත් මෙම නවනගල කදු මුදුන දෙවරක්ම තරණය කර තිබූ අතර එම සටහන් ද්විත්වය අපව තවත් මේ ගමනට උනන්දු කළේය. එහිදී අපට දැන ගන්නට ලැබුණේ කන්ද තරණය කිරීමට කිසිදු පෙර ගමන් මාර්ගයක් නොමැති බවත් අප විසින්ම මාර්ගය සකසා ගත යුතු බවත්ය. එසේම කදු මුදුනේ අධික ලෙස උණබට තිබෙන බවත් ඒවා මගහැරීමට පිහියක් රැගෙන යන ලෙසත්ය.

අප එක්තරා සති අන්තයක මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි සුන්දර හුන්නස්ගිරිය නගරයට පැමිණියේ එහි අපේ නෑදෑයන් සිටි නිසාවෙනි. කලින් නවනගල තරණයට සූදානමක් අපට නොවූ අතර සෙනසුරාදා සවස මෙම ගමනට මුල්ම යෝජනාව දැමූයේ සුමිත් ව්සිනි. රන්දික, සමින්ද හා මම එම යෝජනාව අනුමත කළ අතර ඉරිදා දිනයේ උදෑසනම ගමන ඇරඹීමට අප සූදානම් විය. රන්දික, ඉෂාර, සමින්ද, සුමිත් හා ඉනූෂ මෙම ගමනට සහභාගී වූ කණ්ඩායමයි. උදෑසනම හුන්නස්ගිරිය නගරයෙන් ගමනට අවශ්‍ය ආහාර හා කූඩැල්ලන් සදහා ප්‍රතිකාර අප විසින් ලබා ගතිමු. කූඩැල්ලන් සදහා ඩෙටෝල් බෝතලයක් ගැනීමට අපට අමතක වූ නමුත් ලුණු පැකට් එකක් අප සතු විය.

නවනගල තරණයට එක් එක් කණ්ඩායම් විවිධ මාර්ග භාවිතා කලත් අප මෙහිදී තීරණය කළේ හුන්නස්ගිරිය - මීමුරේ මාර්ගයේ කිලෝමීටර 4ක් පමණ ගියවිට හමුවන නවනගල ගමට ගොස් එහි සිට කදු මුදුන තෙක් ගමන් කිරීමටය. Lakdasun කණ්ඩායම මෙම කන්ද තරණය කර තිබුණේ හුන්නස්ගිරිය නගරය හරහා පයිනස් කැළය තුළින් ගොස් තරමක් දිගු මාර්ගයකි. මෙය බැලූ බැල්මටම තරමක් අසීරු බවක් අපට තේරුම් ගිය නිසා හුන්නස්ගිරියට පෙනෙන කන්දට අනෙක් පසින් කන්ද මුදුන වෙත ගමන් කිරීමට අප තීරණය කළෙමු. ඊට ප්‍රධාන හේතුව වූයේ නවනගල ගම වෙතට යන විටම කන්දෙන් භාගයක් පමණ අප ගොස් අවසන් වන නිසාය. ත්‍රීරෝද රථයෙන් නවනගල ගමේ පාසල වෙත ගිය අපි එතැන් සිට මීමුරේ මාර්ගයේ පයින් ඉදිරියට ඇදුනේ කන්ද තරණය ඇරඹීමට තැනක් සොයමිනි.

පාසල අසලින්ම Hare Park තේ වතු යාය ආරම්භ වන අතර Supirindent Bunglow එකද පසුකරමින් අප මීමුරේ දෙසට ඇදුනේ තේ වතු යාය හරහා කන්දට ඇතුලු වන්නට මගක් සොයමිනි. ගමනේ මීටර 500ක් පමණ යනවිට තේ වතු යාය අවසන්ව කන්දේ කැලය පටන් ගන්නා තැනින් විශාල ගසක් දර්ශනය වූ අතර අපගේ පළමු අරමුණ වුයේ කන්දේ වන එම ගස ලගට යෑමයි. තේ වත්ත තරණය කරගෙන එම ගස ලගට යෑමට තවත් ඉදිරියට ගිය අපිට තේ දළු එකතු කරන තැනින් Hare Park වතු යායට ඇතුල්වන මගක් දර්ශනය විය. එතැන සිටි මිනිසුන්ගෙන් කන්ද තරණයට පාරක් ඇසූ විට ඔවුන් කන්දට යාමට පාරක් නොමැති බව පවසා සිටි අතර ඔවුන් අපව සැක කලේ කන්දේ ගස් කැපීමට යන පිරිසක් ලෙසය. අප කන්ද වෙත යන බව ඔවුන්ට පැවසා අප සොරුන් නොවන බව පවසා තේ වත්තට ඇතුළු වූයේ අප කලින් ග්‍රහණය කළ විශාල ගස ලගට යාමේ අදිටනි.

තේ වත්තේ ඉහලටම ගමන් කළ අපි කන්දේ කැලය ආරම්භ වන තැනට වෙත ප්‍රවිශ්ඨ විය. එතැන් සිට අප කලින් ග්‍රහණය කළ විශාල ගස සොයාගෙන ගමන ආරම්භ කළෙමු. මද දුරක් ගමන් කළ අපට ඉතා කුඩා ජල පහරක් සහිත කුඩා දොළ පාරක් හමුවූ අතර එය මූලාශ්‍ර කරගෙන අප කන්ද මුදුනට ගමන් කළහ. එහිදී දොළ පාරේ වම් පසින් ගමන් කළ අපට එය තරණය කොට දකුණු දෙසට යන්නට වූයේ වම් පසින් තවත් ඉහළට යාමට නොහැකි බව අප සැමට තේරුම් ගිය නිසාවෙනි. මෙලෙස දකුණු දෙසට ගිය අපට ඌරන්ගේ අඩි පාරවල් දිගේ ඉහළටම ගමන් කළෙමු. මෙහිදී අපට කලින් අප ග්‍රහණය කරගත් විශාල ගස මග හැරුණි. කෙසේවුවද තවත් ඉදිරියට ගිය අපට බෑවුම අඩු තැනක් සහිත තැනක් හමුවිය. එහිදී ජලය පානය කළ අප එතැන් පටන් වම් පසට හැරී ගමන් කලේ යම්කිසි අඩි පාරක් වැනි යමක් එහි වූ නිසාවෙනි. අපේ ගමන් මග නිවැරදි බව වැටහුණේ කලින් ගමන් කළ පිරිස් එහි වූ උණබට පිහියකින් කපා තිබෙන දර්ශණ දුටු නිසාවෙනි. මෙතැන් සිට පටන් ගත්තේ උණබට සහිත කැලයයි. කලින් ගමන් කළ පිරිස් උණබට කපා තිබෙන දිශාව හරහා අපද ඇදුණේ ගස් අතරින් බඩ ගාගෙන හෝ නැමීගෙනය. පහත අපගේ නවනගල වීඩියෝව බැලූවිට ඔබට එය තවත් පසක් වනු ඇත.

 


ඉහත වීඩියෝව බැලූවිට ඔබට නිසැකවම තේරුම් යාවී කදු මුදුන තෙක් ගමන් කිරීම කෙතරම් දුෂ්කර කටයුත්තක්ද යන වග. උණබට කැපීමට අප සතුව පිහියක් නොවූ නිසාවෙන් අපට සිදුවූයේ අතින් උණබට කඩමින් ඉදිරියට ඇදීමටයි. මෙලෙස අනෙක් අය ගමන් කළ මාර්ග ඔස්සේ ඉදිරියම ගමන් කළ අප බඩ ගාගෙන් ගොස් එක වරම විවෘත පෙදෙසකට ඇතුළු විය. එනම් එතැන වූයේ විශාල ගල් තලාවකි. අපගේ සතුට දෙගුණ තෙගුණ වූයේ කන්දේ ඉහළටම අප පැමිණ ඇති බව තේරුම් ගිය බැවිනි. නමුදු කන්දේ ඉහලට යාමට තවත් දුරක් තිබුණි. ඡායාරූප කීපයක් ගැනීම හා ජලය පානය කිරීම කළ අප එම විශාල ගල් තලාව මත හිදිමින් මදක් ගිමන් හැරීම කළේය.

මෙහිදී අපගේ අවාසනාවකටදෝ කන්ද මුදුනේ කාලගුණය ක්ෂණික වෙනස් වන්නට විය. මීදුම් වලාවන් අප සෙමින් සෙමින් වසා ගන්නට විය. එසේම කුඩා කුඩා වැසි බිදු අපගේ අතේ දැවටෙන්නටද විය. එන පොට හොද නොවන වටහාගත් අපි කලින් සංචාරකයින් ගමන් කළ උණබට කැපූ සාක්ෂි ඔස්සේ තවත් කන්ද මුදුනට ගමන් කළෝය. මෙතැන් සිට ගමන එතරම් අපහසු නොවූයේ කලින් සංචාරකයින් ගමන් කළ අඩි පාරවල්ද එහි විටින් විට හමුවූ නිසාවෙනි. තවත් පැය භාගයක පමණ ගමනකින් පසු අප නැවත විශාල විවෘත භූමියකට සේන්දු වූහ. එය කන්දේ මුදුනටම පැමිණ ඇති බවට සාක්ෂි පෙන්නුම් කළේ කලින් කන්ද මුදුනට පැමිණි අය Camping කළ බවට ලක්ෂණ එහි වූ නිසාය. අපේ ඉහත වීඩියෝව ඔබ නැරබූයේ නම් එම ලක්ෂණ ඔබද දකින්නට ඇති බව නොරහසකි.

මෙතක් වෙලා තරමක් හෝ හොදට තිබූ කාලගුණය එක වරම දරුණු වන්නට වූයේය. අප අවට ප්‍රදේශය එක් වරම මීදුමෙන් වැසී ගියේ තරමක් තද වර්ෂාවක්ද සමගය. මෙම වර්ෂාවේ තීව්‍රතාවය වෙනස් කිරීමට හමාගිය දරුණු සුළග සමත් විය. එම ගල් තලාවේ ඇවිදිමින් ඡායාරූප හා වීඩියෝ ගත කළ අප වැස්ස තදින් එන අවස්ථාවල ගල් තලාවේ උස් පදුරු වලට මුවා වූයේය. එම මුවා වූ එක් අවස්ථාවක අප ගෙන ආ ආහාර හා ජලය පානය කොට විඩාව සංසිදුවා ගතිමු. එන මාර්ගයේදී අපට කූඩැල්ලන් විසින් ද පහර දුන් නිසා කදු මුදුනේදී එම සතුන් ඉවත් කොට තුවාල වලට ජලයෙන් සෝදා සබන් හා ලුණු එහි තවරා ගතිමු.

මෙතැන් පටන් කන්දේ ඉහලම ස්ථානයට යාමට තවත් ටික දුරක් වූ නිසා, විඩාව නිවා ගැනීමෙන් අනතුරුව අප සෙමින් සෙමින් ඒ දෙසට වූ කැලයට ඇතුලු වන්නට උත්සහ කළෙමු. නමුත් එය ඇත්ත වශයෙන්ම ඝන කැලෑවකි. ඇතුල් වීම ඉතා අසීරු විය. මේ නිසාම අපේ කණ්ඩායම කුමක් කරන්නද සිතා ගනු නොහැකිව කල්පනා කලෝය. වෙනත් වෙනත් මාර්ග ඔස්සේ තව දුරටත් යාමට උත්සහ කලත් ඒ සමගම මොර සූරන වැස්සත් සමගින් මීදුමෙන් අප වැසී ගියේය. එම මීදුම කෙතෙක්ද යත් මීටර කීපයකින් එහා වූ කිසිම දෙයක් නොපෙනුනිනි.

මේ නිසා තවත් ඉහල වූ View Point යන සිහිනය අප අත් හල අතර කලින් අප වැස්සෙන් ආරක්ෂා කළ පදුරු අසලට අප පැමිණියෝය. එතැනදි අපගේ ජංගම දුරකථන සියල්ල පොලිතින් උරයක ගැට ගසා ගත් අප ඒවා සුරැකිව අපේ එකම බෑගය තුළ අන්තරගත කළෝය. අධික මීදුම නිසා කිසිසේත්ම View Point ගොස් වටපිටාව නිරීක්ෂණය කරන්නට නොහැකි බව අපට වැටහෙන්නට විය. මේ නිසා වැස්ස මදක් අඩු වූ පසුව අප තීරණය කළේ කන්ද බැසීමටය. ඒ වනවිට දහවල් 1 පමණ වී තිබුණි. නවනගල ගමින් ගමන ආරම්භ වන විට උදේ 10 පමණ වී තිබූ අතර අප කන්ද මුදුනට ලගාවන විට දහවල් 12 පමණ වී තිබුණි. කන්ද මුදුනේ අප පැයක් පමණ රැදී සිටියෙමු. මෙතැන් පසුව අපට සිදුවූයේ අකරතැබ්බියකි.

 අප කණ්ඩායමේ සිටි සියලු දෙනාට පැමිණි මග අමතක වී තිබුණි. ඊට හේතුව වූයේ උණ බට සහිත කැලෑවක ඇතුලෙන් යන විට අප යා යුතු මග කුමන දිශාවටදැයි නොපෙනෙන නිසාය. උණ බට අතරින් කන්ද බැසීමට ගොස් අප කලින් කන්ද නැගීමේදී හමු නොවූ අලුත් තැන් රැසකටම පැමිණියහ. එක් තැනකින් ගමන් කරන්නට යාමේදී දිස්වූයේ මීදුමෙන් වැසුනු ප්‍රපාතාකාර බෑවුමකි. ඒ වන විටත් අපද මීදුමෙන් වැසී තිබුණු අතර මද වර්ෂාව සමග සුළගද දැඩිවී තිබුණි. මෙලෙස තුන් හතර වතාවක් පාර වරදා ගත් අපි නැවත කන්ද මුදුනටම ගමන් කොට අපේ කන්ද මුදුනේ වූ මුල් ස්ථානයට යලි පැමිණ යන්නේ කොහේටදැයි සාකච්චා කළෝය. ඒ වනවිටත් පාර වරදා ගත් නිසා අප තුළ වූයේ අතරමං වූ බිය ස්වභාවයකි. ඒ වන විටත් කූඩැල්ලන් අපට දැඩි ලෙස ප්‍රහාර එල්ල කර තිබූ අතර නැවත ගමන බැසීම ආරම්භ කළ ස්ථානයේදී ඔවුන් ඉවත් කර අලුත් මගකින් බැසීමට සැවොම ගිවිස ගත්හ. ඒ වන විටත් මගේ හා සමින්දගේ කමිස උණ බට වලට හසුව ඉරී තිබුණි.

අප සැවොම තුළ දැඩි භියක් තිබූ අතර යන්නේ කොහාටදැයි කිසිවෙක්ට අදහසක් නොවීය. නැවත වෙනත් මගක ගමන් කොට අප පිවිසියේ නැවත ප්‍රපාතයක් දිස්වන තැනකටය. නමුත් මෙහිදී අපට මීදුම අතරින් වාසනාවකට මෙන් නවනගල හරහා මීමුරේ මාර්ගය දිස්වූයේය. එය අපගේ භය 50% පමණ අඩු කල බව නම් නොරහසකි. එයින් අප යා යුත්තේ කුමන දිශාවකටදැයි අපට තේරුම් ගියේය. ඒ වන විට වර්ෂාව හා මීදුම අඩුවී තිබූ නිසා කන්දේ අනෙක් කන්ද ද දර්ශනය විය. සෑම දෙසින්ම ප්‍රපාතාකාර බෑවුම් දිස්වූ නිසා මීලගට අප තීරණය කලේ කන්දට පහලින් පේන අනෙක් කන්ද දෙසට යන්නටය.

ඒ අනුව අනෙක් කන්ද පේන දිශාවට අලුත් මගක් ඔස්සේ අපේ කණ්ඩායම ගමන් කලෝය. අප යන මග පසක් කරමින් උණ බට කපමින් සංචාරකයින් ගමන් කළ මගක් අපට හමුවිය. ඒ අනුව අනෙක් කන්ද දිශාව මතකයේ තබා ගනිමින් අප ඒ දෙසට උණ බට අතරින් පල්ලම් බසින්නට විය. එහිදී එක තැනකින් උණ බට වනය අවසන් වූ අතර අපට ඒ වන විටත් නවනගල සිට මීමුරේ දෙසට යන මාර්ගය දිස්වූ නිසා අපගේ බිය සම්පූර්ණයෙන්ම ඉවත් විය. මන්ද අප ඒ දිශාවෙන් කොහේට ගියත් එම මාර්ගයට යා හැකි බව අපට පසක් වූ නිසාය. ඒ අනුව තවත් පහලට ගිය අපිට නවනගල කන්ද හරහා පහලට යන, අප එන මගදී ජලය පානය කළ තැන හමුවිය. එය අපව තවත් එම මග ඔස්සේ යාමට අනුබල කරේ එම ස්ථානය කන්ද මුදුනට යද්දී අප පසුකළ බවට රන්දිකට මතක තිබූ නිසාය.

එම ස්ථානයේ මද වේලාවක් රැදුනේ කූඩැල්ලන්ගේ ප්‍රහාර නිසා අප සියලු දෙනාගේ කකුල් වලින් දැඩි ලෙස ලේ ගලමින් තිබූ නිසාය. ඒවාට නැවත ප්‍රතිකාර කල අපි ලුණු තවරාගෙන කන්දේ පහලටම ඇදුනෝය. වර්ෂා තත්වය නිසා කූඩැල්ලන් සීග්‍රයෙන් සක්‍රීය වී තිබුණි. කෙසේ වූවද අපට ඒ වන විටත් අවශ්‍ය වි තිබුණේ කෙසේ හෝ කන්ද බැසීමටය. පහලට යාමේදී අප කලින් කන්ද නැගි මග අපට හමුවූ අතර එම මග ඔස්සේ තිබූ දොළ පාර දිගේ පහලටම අප ගමන් කළහ. කන්ද නැගීමේදී මග හැරුණු විශාල ගස ලගට පැමිණි අප එතැන් සිට පහසුවෙන් පහලට ගොස් Hare Park වතු යායට සේන්දු වූහ. ඒ වන විටත් අප දැඩිව හෙම්බත් වී තිබුණි. කෙසේහෝ තේ වත්තේ සිට රැදී නොසිට අප සියලු දෙනා පාරට පැමිණියෝය. ඒ වන විට වේලාව පස්වරු 2.30 පමණ වී තිබුණි.

හෙම්බත්ව සිටි අප නවනගල ගමේදී කූඩැල්ලන් ඉවත් කරමින් මුහුණ කට සෝදා ගත්තේ කුඩා ජල පහරකිනි. අපට සිදුවූ අකරතැබ්බිය ගැන සැවොම විශ්මිතව කතා කළ අතර නැවත මේ කන්ද නොයාමට සැවොම තීරණය කළහ. මින් පසුව නවනගල සිට අපේ ගමනාන්තය වූ හුන්නස්ගිරිය තෙක් පහලටම මහ මග දිගේ ගමන් කළෝය.

මෙම ගමනේ සම්පූර්ණ දර්ශණ ඇතුලත් වීඩියෝව මෙම ලිපියේ මුලින් පළ කර ඇත. ඒ නිසා මේ කදු මුදුනට යන්න කලින් එම විඩියෝව අනිවාර්‍යයෙන්ම බලන ලෙස අප ඔබෙන් ඉල්ලා සිටිමු.

 මේ ගමන තුළින් අප ඉගෙන ගත් පාඩම් රැසකි. ඒවා ඉදිරියට මේ නවනගල කන්ද වෙත යන ඔබට ගොඩක් වැදගත් වේවි කියල හිතෙන නිසා මේ ලිපිය පහලින්ම ඒවා පළ කරන්න අප තීරණය කළා.

ඔබ මෙම කන්ද තරණය කරන්න පැමිණෙනවානම් පැමිණීමට සුදුසුම කාලය වන්නේ ජුලි, අගෝස්තු, සැප්තැම්බර් හා මාර්තු, අප්‍රේල් මාස කීපයයි. මන්ද එකී කාලයට මෙම කන්ද අවට කලාපයේ පවතින්නේ වියළි කාලගුණයක් නිසාවෙනි. තවද ඔක්තෝබර් - පෙබරවාරි කාලය මේ කලාපයට වැසි ලැබෙන කාලයයි. එසේම මැයි ජුලි මාසවල ඇත්තෙ තද සුළං තත්වයකි. ඒ නිසා එකී කාලයට කන්ද මුදුනේ කාලගුණය ක්ෂණික වෙනස් වේ.

කන්ද බොහෝවිට මිහිදුමෙන් වැසෙන නිසා එයට සූදානම්ව ඔබේ ගමන ලෑස්ති කරගන්න. එසේම කදු මුදුනට යෑමට තවම නිශ්චිත මාර්ගයක් නොමැත. අප ගමන් කළ මග ඔබත් යෑමට කැමති නම් එය අනිවාර්‍යයෙන්ම අනෙක් ගමන් මගවලට වඩා පහසුවන බව නම් නොරහසකි. එම මාර්ගය ඔස්සේ ගමන් කරන්න කැමති අය අපේ SL Traveler Facebook Page එකට message එකකින් එවන්න. මේ ගමනේදී පාරක් නැති නිසා ඔයාලට පාරවල් හදාගෙන තමා යන්න වෙන්නේ. ඒ ගමනේදී ඔයාලා පිහියක් අරන් යනවනම් ගොඩක් හොදයි. මොකද කන්ද මුදුනේ තියෙන උණ බට ලොකු බාධාවක් වෙන නිසා. ඒ වගේම කූඩැල්ලන් සදහා ලෑස්ති වෙලා යාමත් ඉතාම වටිනවා. හැකි තරම් කූඩැල්ලන්ගෙන් බේරිමට හැකි වන විදියට දිග ඇදුම් හා දිග මේස් සමග සපත්තු රැගෙන මේ ගමන යන්න.

පුලුවන් තරම් උදෙන් ගමන යනවානම් ගොඩක් හොදයි. මොකද එතකොට හවස් වෙද්දි කන්ද බැහැගන්න පුලුවන්. නුවර ඉදලා එන අයටනම් මේක එක් දින චාරිකාවක් විදියට ගන්නත් පුලුවන්. මොකද නුවර ඉදන් මේ කන්දට තියෙන්නේ කිලෝමීටර 45ක වගේ දුරක් නිසා. මේ කන්ද අයිති වෙන්නේ නක්ල්ස් සංරක්ෂණ කලාපයට නිසා ඩීන්ස්ටන් වල තියෙන නක්ල්ස් සංරක්ෂණ කලාපෙන් ඒකට අවසර අරන්ම යන එක ගොඩක් හොදයි. මොක්ද එතකොට ඔයාලට කාගෙන්වත් ගැටලුවක් නැතිව මේ කන්ද මුදුනටම ගිහින් එන්න පුලුවන් වේවි. කිසිම වෙලාවක පොලිතීන් ප්ලාස්ටික් ගෙනවිත් මේ සුන්දර පරිසරය විනාශ නොකරන ලෙසද අප ඔබෙන් ඉල්ලා සිටිනවා. ශාක හා සතුනටත් කිසිම වෙලාවක හානියක් කරන්න එපා. ගිහින් කන්ද මුදුනට පේන දුම්බර මිටියාවතේ ලස්සන බලාගෙනම එන්න.


0 Comments