. වැවතැන්න Camping Site එකේ අපූරු රැයක් ගත කරමු

වැවතැන්න Camping Site එකේ අපූරු රැයක් ගත කරමු


Camping හෙවත් කදවුරු බැදීම කළ හැකි තැන් ලංකාවේ බොහෝමයක් ඇත. ඒවා අතරින් වඩාත් ප්‍රසිද්ධ ස්ථානයක් ලෙස වැවතැන්න කදවුරු භූමිය හැදින්විය හැකිය. මෙම ස්ථානය පිහිටා ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ මැදමහනුවර නගරයට ඉතා ආසන්නයෙනි. මුහුදු මට්ටමේ සිට මීටර 850ක් පමණ උසින් පිහිටි මේ භූමිය එකල තේ වගාව සදහා වෙන්ව තිබුණු භූමියකි. පසුකාලීනව මෙම ප්‍රදේශයේ තේ වගාව විනාශයට පත්වූ අතර මෑතකාලීනව එය සංචාරක කර්මාන්තයට විවෘත විය. අප කලින් ලිපියක කතා කළ මැදමහනුවර කන්ද හෙවත් රජගල කන්ද ද පිහිටා ඇත්තේ මේ ආසන්නයේය. ඒ අනුව අප අද කතා කරන මේ කදවුරු බිම පිහිටා ඇත්තේ නක්ල්ස් කදුකරයේ දකුණු දිග බෑවුමේය.

වැවතැන්න කදවුරු බිමට ඔබ පැමිණීමට අපේක්ෂා කරන්නෙ නම් පළමුව පැමිණිය යුත්තේ මහනුවර නගරයටයි. මීලගට ඔබ මහනුවර සිට තැන්නේකුඹුර හරහා මහියංගනය තෙක් දිවෙන A26 මාර්ගයේ මැදමහනුවර නගරයට පැමිණිය යුතුය. මෙහිදී ඔබට කදවුරු බැදීම සදහා අවශ්‍ය ආහාර හා අනෙකුත් දේවල් මැදමහනුවර නගරයෙන් සපයා ගත හැකිය. බස් රථයෙන් මැදමහනුවරට පැමිණෙන්නේ නම් මහනුවර සිට මහියංගණය බස් රථයක හෝ උඩදුම්බර බස් ර්ථයක නැගීමෙන් පැමිණිය හැකිය.

මැදමහනුවර සිට මදක් මහියංගණය දෙසට ගියවිට වංගුවක් හමුවන අතර එතැන් සිට දකුණු දෙසට තිබෙන මාර්ගයේ ඔබ ගමන් කළ යුතුය. එහි මද දුරක් ගියවිට හන්දියක් හමුවන අතර ඉන් එක් මාර්ගයක් බෝමුරේ දෙසටත් අනෙක් මාර්ගය රජගල දෙසටත් ගමන් කරයි. ඔබ වැවතැන්නට යාමට ගමන් කල යුත්තේ රජගල මාර්ගයේය. මෙය පහසුවෙන් Google Maps වලින් සොයාගත හැකි අතර මාර්ගය සොයාගැනීම අපහසු නම් ප්‍රදේශවාසීන්ගෙන මාර්ගය අසා දැනගන්න. එම රජගල මාර්ගයේ කිලෝමීටර 5-6ක් ගමන් කළ විට ඔබ Woodside Old Tea Factory පසුකරමින් ලගා වන්නේ ගමනාන්තය වන වැවතැන්න වෙතයි.

මෙහි තිබෙන වැව ඉතාම මනරම් දර්ශනයක් මවා පාන නමුදු එය දිය නෑමටනම් කිසිසේත්ම සුදුසු නොවන බවද මතක තබා ගන්න. එබැවින් දියනෑමට අපේක්ෂාවෙන් මෙහි පැමිණෙන්න එපා. මෙහි සිට වික්ටෝරියා ජලාශයේ කොටසක් ඉතාම මනරම්ව දර්ශනය වේ .එසේම හුන්නස්ගිරිය නගරය හා ඒ අවට කදුත් වලපනේ ප්‍රදේශය හා ඒ අවට කදුත් ඉතා මනරම්ව දර්ශනය වේ. සවස් කාලයේ හිරු බැස යන දර්ශනය ඉතාම මනරම් එකකි. එය ප්‍රදේශය ඡායාරූපගත කර ගැනීමට ඉතාම කදිමය. රාත්‍රියේ කදවුරු බැදගනිමින් අපූරු ආශ්වාදයක් මෙහිදී ඔබට ගත හැකිය. කදවුරු ඉදිකිරීමටම කියාපු ස්ථාන රැසකි. එසේම 200-300 පිරිසකට වූවද එකවැර කදවුරු බැදීම කළ හැකිය. බොහෝවිට උදේ කාලයේ වැවතැන්නේ මීදුම් සහිත ගතියක් බොහෝවිට පවතී. එම උදෑසන අසිරියද ඉතාම මනරම්‍ එකකි.

කෙසේවූවද ඔබෙන් යලි යලි කරන ඉල්ලීම වන්නේ පොලිතීන් ප්ලාස්ටික් දමා යමින් මේ සුන්දර කදවුරු බිම විනාශ නොකරන ලෙසය. වැවතැන්න සංචාරය ඉවර කර යන ඔබට යන මගදී වික්ටෝරියා වේල්ලද නරඹා යාම කළ හැකිය. තවද හුන්නස්ගිරිය නගරයට ගියොත් තවත් සංචාර්ක ස්ථාන කොතෙකුත් ඇත.

තවත් කියවන්න:

ඩීන්ස්ටන් පුංචි ලෝකාන්තයේ අසිරිය

නවනගල කදු තරණය

 


2 Comments

  1. Best one of traveling site I've ever seen. I admire your effort and best of luck. Keep it guys.

    ReplyDelete