. බදුල්ලේ ඓතිහාසික බෝගොඩ පාලම බලන්න යමුද

බදුල්ලේ ඓතිහාසික බෝගොඩ පාලම බලන්න යමුද


අද අප මේ ලිපිය තුලින් කතා කරනුයේ බදුල්ල අවට සංචාරක ස්ථාන අතුරෙන් තවත් ප්‍රසිද්ධ සංචාරක ඉසව්වක් පිළිබඳවයි. එනම් බෝගොඩ ලී පාලම පිළිබඳවයි.  මෙම ඓතිහාසික පාලම පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල නගරයේ සිට කිලෝමීටර 13ක් පමණ දුරකිනි.

බෝගොඩ පාලම වූ කලී සම්පූර්ණයෙන්ම ලීයෙන් නිර්මිත තවත් විශිෂ්ඨ නිර්මාණයක් ලෙස හැදින්විය හැකිය. එය පැරණි අපේ මුතුන්මිත්තන්ගේ අපූරු හැකියාව හා දක්ෂතාව පිළිබඳව සාක්ෂි සපයයි. මෙම පාලමේ ඇණ ඇතුළු සම්බන්ධිත සියලු දේ නිර්මාණය වී ඇත්තේ ලීයෙනි. මෙය සැලකෙන්නෙ දැවයෙන් සෑදූ ලොව පැරණිතම පාලමක් ලෙසයි. 16 වන සියවසේ මහනුවර යුගයට අයත් වූවක් ලෙස සැලකෙන මේ පාලම වැටී ඇත්තේ ගල්ලන්ද ඔය හරහාය.


බෝගොඩ පාලම අයත් වන්නේ ඉපැරණි විහාරයක් වන බෝගොඩ විහාරයටයි. බදුල්ල නගරයේ සිට මෙම පාලම වෙත පැමිණීමට ප්‍රධාන මාර්ග 2ක් ඇත. ඉන් පළමු මාර්ගය වන්නේ හාලි ඇල - වැලිමඩ පාරයි. මෙම පාරේ කිලෝමීටර 11ක් පමණ ගියවිට හමුවන ජගුල්ල හන්දියෙන් වමට හැරී කිලෝමීටර 2ක් පමණ ගියවිට බෝගොඩ විහාරයට යාමට ඔබට හැකිවේ. මීගහකිවුල ප්‍රදේශයෙන් වැටි ඇති මෙහි අනෙක් මාර්ගයෙන් ඔබ ගමන් කරන්නේ නම් අලුගල්ල පාරේ ගොස් කන්දෙගෙදර පාසල් පාරේ යා යුතු වේ. මෙම මාර්ගය තරමක් ඈත මාර්ගයකි. බෝගොඩට යන මාර්ගද අතිශය සුන්දර අතර එහිදී දිය කඩිති කීපයක්මද ඔබට හමුවේ.


බෝගොඩ පාලම තුළ මහනුවර යුගයේ ලක්ෂණ අඩංගු වන අතර එහි සම්පූර්ණ දිග මීටර 15කි. පළල මීටර 1.5ක් පමණද උස මීටර 2.4ක් වේ. වහලයේ උළුද මහනුවර යුගයේ ලක්ෂණ පෙන්නුම් කරන අතර පාලමේ වැටද අලංකාර කැටයම් වලින් යුක්තය. අම්බලම් පාලම ලෙසද හැදින්වෙන මෙම සුවිශේෂී පාලම නිර්මාණය වී ඇත්තේ අඩි 30ක් පමණ උස කුඹුක් කදක් උඩය. ගල්ලන් ඔය හරහා වැටුණු ලී කදන් තුනක් මත කොස්, කුඹුක්, කලුවර, මිල්ල හා මිල් යන ගස් අනුසාරයෙන් මෙම සුවිශේෂී නිර්මාණය එකළ දක්ෂ අඩු කාර්මිකයින් අතින් නිර්මාණය වී ඇත.

බෝගොඩ විහාරය වූ කලී තවත් වැදගත් ඓතිහාසික විහාරයකි. එහි බුදුමැදුරට දකුණින් ඇති ගුහාව තුළ අතීතයේ වළගම්බා රජතුමා සැගවී සිට ඇති බව කියැවේ. ගල්ගුහාව සමගම පිහිටි උමග මගින් දෝව රජමහා විහාරය හා නාරංගල කන්ද සම්බන්ධ වන බවද පැවසේ. ඔබට මෙම ගුහාව හා උමග බැලීමට යාමට අවශ්‍ය නම් ඒ සදහා විහාරස්ථානයෙන් අවසර ගැනීමට සිදුවන බවද මතක තබා ගන්න.

එසේනම් බදුල්ල අවට සංචාරක ස්ථාන සොයන ඔබ මෙම ඓතිහාසික බෝගොඩ පාලම නැරඹීම සදහාද පැමිණීමට අමතක නොකරන්න. පහතින් දැක්වෙන්නේ බදුල්ල අවට තවත් සංචාරක ස්ථාන කීපයකි.

(මෙම ලිපියේ අඩංගු ඡායාරූප ලබා ගත්තේ Visit Ella Facebook Page මගිනි)

0 Comments