. ඌව පළාතේ හයවන උසම කදු මුදුන වන නාරංගල තරණය කරමු

ඌව පළාතේ හයවන උසම කදු මුදුන වන නාරංගල තරණය කරමු


නාරංගල යනු මේ දිනවල ලංකාවේ කදු නගින්නන් අතර ඉතාම ජනප්‍රිය කදු මුදුනකි. අද අප මේ ලිපියෙන කතා කරන්න බලාපොරොත්තු වන්නේ මෙකී නාරංගල සුන්දරත්වය විමසා බැලීමටයි.

බදුල්ල නගරයට ආසන්නව සුන්දර නමුනුකුල කදුවැටිය පිහිටා ඇත. නමුණුකුල දිස්වන කලාපයට අනෙක් පසින් දිස්වන කදු ශිඛරය වන්නේ නාරංගලයි. මෙම කදුවැටිය අවට කලාපය ඓතිහාසික වශයෙන් මෙන්ම සංස්කෘතික වශයෙන්ද වැදගත් කලාපයක් ලෙස හැදින්විය හැකිය.

තෘණ හා මානාවලින් කදුවැටිය වැසී පවතින නිසා ඈතට කදුවැටිය දිස්වන්නේ ලාකොළ පැහැයෙනි. මෙහි ඇති රවුම් අමුතු හැඩය නාරං ගෙඩියක හැඩයක් පෙන්නුම් කරන බැවින් මෙම කදු ශිඛරයට නාරංගල ලෙස හදුන්වන බව අපට සොයාගත හැකි විය. මෙහි අවට කලාපයේ ඇත්තේ තරමක් වියළි කාලගුණයක් බැවින් වසරකට වරක් මෙම කදු කලාපය ගිනි ගැනීමට ලක් වේ. උසින් මීටර 1512ක් හෙවත් අඩි 4540ක් උස මේ කදු ශිඛරය ඌව පළාතේ හයවන උසම ශිඛරය සේම ලංකාවේ උසම කදුවැටි ලැයිස්තුවේ 38වන ස්ථානය ගනු ලබයි. ඔබ දුන්හිද දිය ඇල්ල නැරඹීමට ගොස් ඇත්නම් මේ කදු මුදුන එහිදී ඉතා ආසන්නයෙන් හා පැහැදිලිව දැක ගැනීමට ඔබට අවස්ථාව හිමිවේ.

ඔබ මෙම කදුවැටිය තරණය කරන්නේ නම් ඔබ බදුල්ල නගරයට හෝ හාලිඇල නගරයට මුලින් පැමිණිය යුතුය. බදුල්ල සිට කන්දෙගෙදර බස් රථයේ කන්දෙගෙදර කීනකැලේට මුලින් යා යුතුය. සාමාන්‍යයෙන් බස් රථයේ කන්දෙගෙදරට යාමට විනාඩි 45ක් පමණ යා යුතුය. කන්දෙගෙදර සිට කිලෝමීටර 2ක් පමණ දුරකින් පිහිටි තංගමලේ දේවාලය අසලින් නාරංගල කදු මුදුනට දිවෙන අඩි මාර්ගය පිහිටා ඇත. මෙම දේවාලය දක්වා වාහනයකින් ගමන් කළ හැකිය. මෙතැන් සිට කුඩා තේ වතු යායවල් හා පයිනස් සහිත ලදු කැලෑව පීරමින් කදු මුදුන දක්වා ගමන් කළ යුතුය. මෙම කදුවැටිය මුදුනේ ජලය නොමැති බැවින් හැකි තරම් ජලය රැගෙන යාමට අමතක නොකරන්න. වර්ෂා කාලයට කූඩැල්ලන් බහුලය. සාමාන්‍යයෙන් නාරංගල තරණය කිරීමට ඉතාම සුදුසු කාල වන්නේ පෙබරවාරි - මැයි කාලයයි.

කන්දේ මුදුනට යාමට පෙර තෘණ කැලයෙන් වැසුනු විශාල ප්‍රදේශයකට ඔබ අවතීර්ණ වන අතර එතැන් සිට තෘණ හා මාන කැලය හරහා කන්ද මුදුනටම යාමට ඔබට හැකිවේ. අධික හිරු එළිය කදු තරණයට දැඩි බාධාවක් වන බව මතක තබා ගන්න. මෙම කදු මුදුනේ කූඩාරම් ඇටවීමට සුදුසු තැන් රැසක්ම ඇත. කදු මුදුනේ බොහෝවිට තරමක් තද සුලගක් පවතී. මෙහි රැයක් ගත කරන්නට හැකි නම් එය සංචාරක ඔබට කදිම අත්දැකීමක් වනවා නොඅනුමානය. මෙම කදු මුදුනට පෙනෙන උදෑසන හිරු උදාවද ගෙන එන්නේ අමුතුම චමත්කාරයකි. ඔබ කූඩාරම් ඇටවීමේදී සැලකිලිමත් විය යුතු ඉතාම වැදගත් කාරණය වන්නේ ගිනිමැල දැල්වීමේදීය. මෙම කදුවැටිය අවට කලාපයේ පවතින්නේ මාන පදුරු හා වියළි තෘණ නිසා වැරදීමකින් ඇතිවන ගින්නක් මහා විනාශයක් ගෙන දීමට ඉඩ ඇත. ඒ නිසා වියළි කාලයේදී මෙහි සංචාරය කරන ඔබ ගිනිමැල දැල්වීමට සුදුසු තැනක් තෝරාගෙන ඉතා පරිස්සමෙන් ඒ ක්‍රියාව සිදු කරන්න.

මෙම කදු මුදුනේ සිට බැලූ විට ඌව පළාතේ බොහෝ ප්‍රදේශයක් මෙන්ම නක්ල්ස් කදු කලාපයද බොහෝ හොදින් දැකිය හැකිය. සමහර අවස්ථාවල කන්දට පහලින් සුදුවන් වලාකුළු පවතින විට අවට කලාපයේ ඇත්තේ පුදුමාකාර ලස්සනකි. මෙහි සිට නක්ල්ස්, ගෝනගල, පිදුරුතලාගල, නමුණුකුළ, යහන්ගල කදුවැටි පැහැදිලිව හදුනාගත හැකිය. කදු මුදුනේ චෛත්‍යක්ද දැකිය හැකිවේ. මෙම කදුවැටි කලාපය ගැන පවසන පුරාවෘත බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකා ගමන වන මහියංගනය දක්වා දිව යයි. එසේම මෙම කදු මුදුන ආශ්‍රිත කලාපය 1818 වෙල්ලස්ස කැරැල්ල ගැන සාක්ෂි සපයන ඓතිහාසික කලාපයක් බවද මතක තබා ගන්න. එදා ජාතික හෙල විරුවෝ අද නාරංගල ආශ්‍රිත කලාපයේ තම රුදිරය හෙලමින් ඉංග්‍රීසීන් මෙරටින් එළවීමට සටන් කළහ.

ඔබ මේ සුන්දර නාරංගල තරණය කරන්නේ නම් මෙම සුන්දර පරිසර කලාපය පොලිතීන් හා ප්ලාස්ටික් දමා විනාශ නොකිරීමට තරයේ මතක තබා ගන්න. මෙම කදු තරණය හා කූඩාරම් බැදීම තුළින් ලබන අත්දැකීම ලංකාවේ අනෙක් කදු තරණයේදී නොලැබෙන අමුතුම අත්දැකීමක් වනවා නොඅනුමානය.

0 Comments