. හැමෝම යන හෝර්ටතැන්න ජාතික උද්‍යානය ගැන දැන ගනිමු

හැමෝම යන හෝර්ටතැන්න ජාතික උද්‍යානය ගැන දැන ගනිමු


හෝර්ටන්තැන්න යනු දේශීය සංචාරකයින් අතර බොහොම ප්‍රසිද්ධ ස්ථානයක්. අද අප මේ ලිපියෙන් කතා කරන්නේ එහි ඇති සංචාරක වටිනාකම හා වනෝද්‍යානයක් ලෙස එහි ඇති වැදගත් කම පිළිබඳවයි. ඉතින් හෝර්ටන්තැන්නේ ගියපු අයට වගේම ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන අයටත් මේ ලිපිය ගොඩක් වැදගත් එකක් වෙයි කියලා අපි විශ්වාස කරනවා.


හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයට පැමිණීමට ප්‍රධාන මාර්ග දෙකක් තියෙනවා. ඉන් පළමු මාර්ගය වන්නේ නුවරඑළිය-පට්ටිපොල මාර්ගයේ කිලෝමීටර 32ක් ගෙවා පැමිණෙන මාරගයයි. මින් දෙවැන්න වන්නේ හපුතලේ සිට ඔහිය හරහා කිලෝමීටර 38 ක් ගෙවා පිවිසෙන මාරගයයි. එසේම හැටන් ඩයගම හරහාද හෝර්ටන්තැන්නට පිවිසෙන නිතර භාවිතා නොකරන මාර්ගයක් ඇත. බොහෝ කොළඹ සිට පැමිණෙන සංචාරකයින් හෝර්ටන්තැන්නට පැමිණෙන්නේ උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය හෝ පට්ටිපොල දුම්රිය ස්ථානවලට පළමුව ලගා වීමෙන් අනතුරුවය. මන්ද මේ ගමන හරහා උඩරට දුම්රිය මාර්ගයේ ඇති සුන්දරවයද අත්විදීමට ඉන් හැකිවන නිසාය.

පළමුවරට ස්වභාවික රක්ෂිතයක් ලෙස 1969 වසරේ දෙසැම්බර් 5 වන දින නම් කෙරුනු හෝර්ටන්තැන්න, ජාතික උද්‍යානයක් බවට පත් කරනු ලැබූයේ 1988 වසරේ මාර්තු 16 වන දිනය. මෙහි විශාලත්වය හෙක්ටයාර 3160 වන අතර මුහුදු මට්ටමේ සිට උස මීටර 2200ක් පමණ වේ. මේ නිසාම වාර්ෂික උෂ්ණත්වය 15C වන අතර වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 2540ක් පමණ වේ.

ලංකාවේ උසම තැනිතලා ප්‍රදේශය ලෙස සැලසෙන මේ ප්‍රදේශයේ උසින් මීටර 2398ක් වන කිරිගල්පොත්ත කන්දත් උසින් මීටර 2351ක් වන තොටුපොල කන්දත් පිහිටා ඇත. හෝර්ටන්තැන්න සංචාරය කරන ඔබට මේ කදු දෙකද තරණය කිරීමේ හැකියාවද පවතී. මෙම උද්‍යානයේ ඇති වඩාත්ම ප්‍රසිද්ධ ස්ථාන වන්නේ වළාකුළු වනාන්තර, ලෝකාන්තය, බේකර්ස් ඇල්ල හා චිමිනි ඇල්ලයි.

අධික සුළං නිසාම ශාක නිදහසේ නොවැඩෙන අතර ඒවා කුරුවී වැඩීම සිදුවේ. වාතය වැඩි සිසිල් බවකින් හා වැඩි ආර්ද්‍රතාවයකින් යුතු නිසාම වනාන්තර ඇතුලත පවතින්නේ සිසිල් බවකි. මේ ප්‍රදේශය ඉතා වටිනා ජල පෝෂක ප්‍රදේශයක් වන අතර මහවැලි, වලවේ, කැළණි ගංගාවල අතු ගංගා වගේම බගවන්තලාව ඔය, බෙලිහුල්ඔය හා ආගර ඔය යන ජල මූලාශ්‍රත් මෙහි සිට ආරම්භ වේ.

කදු හා නිම්නවලින් යුක්ත මේ පරිසරයේ එකිනෙකට වෙනස් ශාක විශේෂ හා ස්ථරවලින් යුක්තය. මෙහි තෙත් සදාහරිත වනාන්තරද පවතින අතර වනාන්තර ඇතුලට හිරු එළිය පතිත වන්නේ මද වශයෙනි. මේ නිසාම ඒවා ඇතුලත අදුරු බවකින් යුක්තය. ශාක ආලෝකය සදහා තරගකිරීමක් කරනු ලබයි. එහි ප්‍රථිපලයක් ලෙස ශාක මත වැඩෙන අපි ශාක හා උඩවැඩියා විශේෂ බහුලවේ. මෙම අපි ශාක නිරන්තර පවතින වලාකුළු මගින් ජලය ලබා ගැනීම සිදු කරයි.

මහරත්මල්යනු හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ දැකිය හැකි විශේෂ ශාකයකි. මීට අමතරව කීන, වල්කදුරු, බිනරමල්, වල්කපුරු, මහ මීවන, බෝවිටියා වැනි ශාකද මෙහි බහුලය. එසේම ප්‍රධාන ආක්‍රමණික ශාක විශේෂ 2ක්ද මේ උද්‍යානයේදී දැකිය හැකිය. එනම් එයුලැක්ස් හා වරැල්ල යන ශාකයන්ය. ආවේණික පක්ෂි විශේෂ 14ක්, සංචාරක කුරුල්ලන් විශේෂ 11ක් ඇතුලු කුරුලු විශේෂ 50ක්ද ගෝනා, දිවියා, වදුරා, වැලි මුවා, දඩු ලේනා, බලල් දිවියා, හාවා යන සතුන්ද මේ භූමියේ වාසය කරයි. ආවේණික වදුරු විශේෂයක් වන වලස් වදුරා මෙහි දැකිය හැකි තවත් සුවිශේෂී සත්වයෙකි.

ක්‍රියාකාරී වළාකුළු වනාන්තර
මේවා ලොව පැරණිතම වනාන්තරවලින් පැවත එන අතර වසර මිලියන ගණනකට පෙර ලංකාව පිහිටි ඇන්ටාක්ටික් කලාපයේ වූ ශීත දේශගුණය අදටත් මෙහි නොනැවතී පවතින බව විශ්වාස කෙරේ. හෝර්ටන් තැන්න වූ කලී ක්‍රියාකාරී වළාකුළු දැකගැනීමට ඉතාම සුදුසු ස්ථානයකි. ලෝකාන්තයේදී පහළ ප්‍රදේශවල උණුසුම් වාතය ඝනීභවනය වීමෙන් සෑදුනු වලාකුළු නිරන්තරයෙන්ම දැකිය හැකිය. මේ නිසාම හෝර්ටන්තැන්න ප්‍රදේශයේ පවතින්නේ නිරන්තර වෙනස්වන කාලගුණයකි.

ලෝකාන්තය
හෝර්ටතැන්නේ වඩාත්ම ප්‍රකට සංචාරක ස්ථානයයි. මෙහි සිට පහළට ඇත්තේ මීටර 870ක් පමණ වන බෑවුමකි. පහළ බැලූවිට තේ වතු යායන් හා බලන්ගොඩ ප්‍රදේශ පැහැදිලිව පෙනේ. එසේම කිරිකැටි ඔය හා දකුණු පලාතේ සමහර ප්‍රදේශ සේම ඈත මුහුදත් වලාකුළු නැති පැහැදිලි දිනවල බලාගත හැකිය.

හෝර්ටන්තැනේ ඇති අනෙක් සුන්දරතම සංචාරක ස්ථාන දෙක වන්නේ බේකර්ස් ඇල්ල හා චිමිනි ඇල්ල යන දිය ඇලි දෙකයි. එසේම මෙම උද්‍යානය Camping වලටත් ඉතාම සුදුසුය. ඔබ හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය වෙත පැමිණෙන්නෙ නම් කිරිගල්පොත්ත කදුවැටියද තරණය කිරීමට අවසර ලබා ගන්න. එවිට එය ඔබේ සංචාරය තවත් උද්වේගකර එකක් කරනු නොඅනුමානය. කිසිවිටෙක මෙම සුන්දර ජල පෝෂක කලාපය විනාශ වන ආකාරයේ වැඩ නොකරන්න.


0 Comments