. ලංකාවේ උසම වේල්ල වන වික්ටෝරියා වේල්ල බැලීමට යමු

ලංකාවේ උසම වේල්ල වන වික්ටෝරියා වේල්ල බැලීමට යමු




වික්ටෝරියා යනු ලංකාවේ විශාලතම ජල විදුලි බලාගාරයයි. එසේම වික්ටෝරියා වේල්ල යනු ලංකාවේ උසම වේල්ලයි. තෙල්දෙනිය නගරයේ සිට කිලෝමීටර 6ක් පමණ දුරකින් පිහිටි මේ වේල්ල දෙආරුක්කු වේල්ලක් ලෙස සැලකේ.

කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා වැඩසටහන යටතේ 1964 වසරේදී මේ වික්ටෝරියා ජලාශය සදහා මූලික යෝජනා ඉදිරිපත් විය. ජේ ආර් ජයවර්ධන රජය යටතේ 1978 වසරේදී වැඩ කටයුතු ඇරඹූ මේ ව්‍යාපෘතිය 1985 වසරේ අප්‍රේල් 12 වන දින එවකට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය මාග්‍රට් තැචර් මහත්මිය අතින් ජනතා අයිතියට පත් කෙරිණි.

මෙම ජලාශය නිර්මාණය කිරීමේ මූලික අරමුණ වූයේ ජල විදුලිය නිෂ්පාදනය හා කෘෂිකාර්මික කටයුතු සදහා ජලය සම්පාදනය කිරීමයි. විදුලි බල නිෂ්පාදනය සිදුවූයේ වේල්ල හරහා නිකුත්වන ජල කදේ ශක්තියෙනි. වික්ටෝරියා ජලාශය සාදා ඇත්තේ හුලු ගග හා මහවැලි ගග එකතුවන ස්ථානයේය. එහිදී එවකට එම ස්ථානයේ වූ පැරණි තෙල්දෙණිය නගරය සම්පූර්ණයෙන්ම යටවූ අතර ඉඩම් අහිමි වූවන්ට මහවැලි කලාපවල හා ඉහල කදුකර ප්‍රදේශවල ඉඩම් හිමිවිය. එකල පැරණි තෙල්දෙණිය නගරයේ සමහර නටබුන් අදටත් ඔබට දැකිය හැකි වන්නේ ජලාශයේ ජලය අඩුවූ කාලයටය. ජලාශයට මෙපිටින් නව තෙල්දෙණිය නගරය පසුව ඉදි විය.

වික්ටෝරියා වේල්ල ඉදිවූ ස්ථානයේ එකල මීටර 10 ක් පමණ උස වික්ටෝරියා දිය ඇල්ල පිහිටා තිබුණු අතර පසුව එම දිය ඇල්ල ජලාශයට යට විය. වික්ටෝරියා වේල්ල උසින් මීටර් 122ක් එනම් අඩි 400ක් ද දිගින් මීටර 520 ක් ද වේ. එහි පාදම පළල මීටර් 25කි. මෙම වේල්ල ඇතුලත කාමර රැසක් ඇති අතර ජලාශයේ වැඩි ජලය ඉවත් වීමට වාන් දොරටු අටක් වේ. මෙම වික්ටෝරියා ජලාශය වාන් දමන ආකාරය අතිශය සුන්දර වන අතර මෙම වික්ටෝරියා වේල්ල බැලීමට සුදුසුම කාලය වන්නේ එකී කාලයයි. නමුත් මේ වාන් දැමීම සිදුවන්නේ වසර කීපයකට පමණක් සිදුවන අපූර්ව හා අලංකාර සිදුවීමක් නිසා එකී කාලයට සංචාරකයින් බොහෝ ප්‍රමාණයක් වික්ටෝරියා වේල්ල බැලීමට පැමිණෙයි.

වික්ටෝරියා ජලාශය ඉදිවූයේ එවකට බ්‍රිතාන්‍ය රජයේ ආධාර අනුග්‍රහ ඇතිවය. එම ව්‍යාපෘතිය සදහා ආධාර කිරීමට බ්‍රිතාන්‍ය එකග වී ඇත්තේ වේල්ලට ‘වික්ටෝරියා’ යන නම ලබා දෙන බවට දුන් පොරොන්දුව නිසා බව කියැවේ. මේ ව්‍යාපෘතිය සදහා එකල ජනාධ්පති ජේ ආර් ජයවර්ධන, ගාමිණී දිසානායක හා ලලිත් ඇතුලත්මුදලි යන මහත්වරුන් කැපවී කටයුතු කලෝය. ජලාශයේ සම්පූර්ණ ධාරිතාවය ඝන මීටර 72000000 කි. එසේම එහි ක්‍රියාකාරී ධාරිතාවය ඝන මීටර 684000000කි. ජලාශය මගින් මෙගා වොට් 210ක ජල විදුලියක් ශ්‍රී ලංකා ජාතික විදුලි බල පද්ධතියට එකතු කෙරේ. ජලාශය වර්ග කිලෝමීටර 22.7ක ප්‍රදේශයක පැතිර ඇත.



වික්ටෝරියා වේල්ල පහල වෙනම වාන් දොරටු දෙකක් පිහිටා ඇත්තේ ජලාශයේ පහල එකතුවන රොන්මඩ ඉවත් කිරීමටය. මෙම වේල්ල හරහා යන ජලය මීටර 5646ක දුරක් උමගක් හරහා ගමන් කර කොටස් තුනකට බෙදී ටර්බයින 3ක ක්‍රියාකාරීත්වය සදහා යෙදවේ. වේල්ල සිට ජල විදුලි බලාගාරය පිහිටා ඇත්තේ කිලෝමීටර කීපයක දුරිනි. වේල්ල සිට පහළ මහවැලි ගගේ ජලය හිස් වන අතර පහළ ජල විදුලි බලාගාරය අසලින් හිටි හැටියේම ජලය පොලොවෙන් ඉහලට එකතු වන ආකාරය අපූර්වය. එම ජලය මගින් නැවත ගග පෝෂණය වන අතර එම ජලය ගමන් කරන්නේ එතැන් සිට රන්දෙණිගල ජලාශය පෝෂණය සදහාය.

සංචාරය කරන ඔබ මෙම වේල්ල බැලීමට පැමිණෙන්නේ නම් ඒ සදහා ඉතාම උචිත කාලය වන්නේ වික්ටෝරියා ජලාශය වාන් දමන කාලයයි. නමුත් එය වසර කීපයකට පමණක් උදාවන දුර්ලභ අවස්ථාවක් බව සලකන්න. නමුත් ඔබට අනෙක් කාලවලදී වික්ටෝරියා වේල්ල බැලීමට පමණක් යා හැකිය. ඔබ මෙම ජලාශය බැලීමට යාමේදී ඒ සදහා තෝරාගත යුතු සුදුසුම මාර්ගය වන්නේ මහනුවර මහියංගන මාර්ගයයි. එම මාර්ගයේ කිලෝමීටර 30ක් පමණ ගමන් කල විට මොරගහමුල හන්දිය හමුවන අතර එතැන් සිට කිලෝමීටර 10 ක් පමණ දුරකින් මේ කෝන්ක්‍රීට් දැවැන්තයා පිහිටා ඇත. වේල්ල නැරඹීමට වේල්ලට ඉහල ස්ථාන කීපයක්ම ඇති අතර වේල්ල මතින් ගමන් කිරීමටත් වේල්ල ඇතුලට යාමටත් ඔබට විශේෂ අවසරයක් ගැනීම අනිවාර්‍ය වේ.

එසේම මහනුවර සිට බදුල්ල මාර්ගයේ අධිකාරීගම හරහාද ඔබට මේ වේල්ල බැලීමට යාමට හැකිය. එහි සිට කිලෝමීටර 5ක් පමණ දුරකින් මේ වේල්ල වෙත ප්‍රවිෂ්ඨ විය හැකිය. එසේම මේ බදුල්ල මහනුවර මාර්ගයේ තවදුරටත් ගමන් කිරීමේදී ඔබට වික්ටෝරියා විදුලි බලාගාරය, රන්දෙනිගල ජලාශයේ අසිරිය වෙන්ම රන්දෙනිගල වේල්ලත් අපහසුවකින් තොරවම දැකගත හැකිය. එසේම මහනුවර මහියංගනය මාර්ගයේ ගමන් කලවිට ඉඩෝරයේදී පැරණි තෙල්දෙණිය නගරයද දැක ගැනීමට ඔබට හැකිය.

වික්ටෝරියා වේල්ල වෙත යන මොරගහමුල පසුකර මහියංගණය දෙසට ගියහොත් ඔබට හමුවන සංචාරක ස්ථාන කීපයක් මෙසේය. 


0 Comments