. මහනුවර උඩවත්තකැලේ රාජකීය වන උද්‍යානයට යමු

මහනුවර උඩවත්තකැලේ රාජකීය වන උද්‍යානයට යමු


(Image Credit: Travel SL Facebook Page)

අද අප කතා කරන්නේ කන්ද උඩරට අගනුවර වන මහනුවර නගරය ආසන්නයේ පිහිටි සුන්දර වන උයනක් පිළිබඳවයි. එනම් උඩවත්තකැලේ රාජකීය වන උයන පිළිබඳවයි. මෙම වන උයනේ ඇති විශේෂත්වය වන්නේ එය පැරණි උඩරට රාජධානිය ගැන සාක්ෂි රැසක්ම සපයන නිසාය. මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පිටුපසින් ඇත්තේ මේ සුන්දර උඩවත්තකැලේ වන උද්‍යානයයි. ඝෝෂාකාරී මහනුවර නගරයේ පිහිටා තිබුණත් මෙම වන උයනේ ඇත්තේ දැඩි නිස්කලංක භාවයකි.

ඔබ මෙම වන උයනට ගමන් කරන්නේ නම් ශ්‍රී දළදා මාලිගාවට ප්‍රවිෂ්ඨ වන ප්‍රධාන පිවිසුම පිහිටි ඩී.එස්. සේනානායක වීදියේ ත්‍රිත්ව විද්‍යාලය දෙසට මීටර 200ක් පමණ ගමන් කළ යුතුය. එහි සිට දකුණු පැත්තට ඇති උඩවත්තකැලේ ප්‍රවිෂ්ඨ මාර්ගය ඔබට හමුවේ. කන්ද ඉහලට ඇති මාර්ගයේ කිලෝමීටරයකට වැඩි දුරක් ගමන් කිරීමෙන් මෙම උඩවත්තකැලේ රාජකීය වන උයනට ඔබට ප්‍රවිශ්ඨ විය හැකිය. සාමාන්‍යයයෙන් පැයක පමණ වේලාවක් මේ සදහා ගත වේ. මෙහිදී ටිකට්පතක් සදහා එක් අයෙකුගෙන් රුපියල් 30ක මුදලක් අය කෙරෙන අතර ආදරවන්තයින් අතර මෙය ජනප්‍රිය වෙමින් පවතින ස්ථානයකි. සාමාන්‍යයයෙන් සතියේ සෑම දිනකම පෙරවරු 7 සිට පස්වරු 6 දක්වා මෙම වනෝද්‍යානය විවෘතය.

1856 වසරේදී ඉංග්‍රීසීන් විසින් මෙය රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර 1938 වසරේදී වනජීවී රක්ෂිතයක් ලෙසද නම් කරන ලද්දේ මතු පරපුර උදෙසා සංරක්ෂණය කරගැනීමේ අරමුණිනි. උඩවාසල වත්ත හෙවත් මාලිගාවට උඩින් පිහිට් වත්ත යන නමින් මෙම වන උයනට උඩවත්තකැලේ ලෙස නම් කල බව මූලාශ්‍ර සදහන් කරයි. ජෛව විවිධත්වය අතින් ඉහල අගයක් ගන්නා මෙහි නාගස් විශාල ලෙස ඇති නිසා නා වනය ලෙසද එකල හැදින්විණි.

ශාක වර්ග 405ක් පමණ ඇති මෙහි 100 කට ආසන්න සංඛ්‍යාවක් ඒකදේශීය ශාක වේ. මෙකී ශාක වර්ග අතර වල්දෙල්, මී, මදටිය, වනසපු, උණ වර්ග, කිහිඹිය, මොර, නුග යන ශාක උඩවත්තකැලේ වන උයන තුළ බහුලය. හෙක්ටයාර 105 ක් පුරා පැතිරී ඇති මෙහි පක්ෂි විශේෂ 81ක්, සර්ප විශේෂ 21 හා උරග විශේෂයන් රැසක්ද දැකිය හැකිය. මෙහි බහුලවම දැකිය හැකි සතුන් අතර සිකනලා, ගස්ගෙම්බා යන යන මැඩි විශේෂත් කොණ්ඩ උකුස්සා, සර්ප උකුස්සා, අඳුරු නිල් මැසිමාරා, ලංකා ගිරාමලිත්තා යන පක්ෂීනුත් හදුන් දිවියා, ඕලු මුවා, අළු රදන නයා, කටකළුවා, හාල් දණ්ඩා යන සතුනුත් ප්‍රමුඛ වේ.

වන ඝන්ත්වය අතින් ඉහල උඩවත්තකැලේ තුළ අතිශය දුර්ලභ පුස්වැලක් දැකිය හැකිය. අඩි 1800ක් උස කොඩිමලේ ගැටය එකල පැරණි රජවරු භාවිතා කලේ සතුරන් පැමිණෙන්නේදැයි නිරීක්ෂණය සදහාය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අග බිසව හා අනෙකුත් බිසෝවරු ස්නානය කළ පොකුණද ඔබට මෙහිදී දැකිය හැකිවේ. එකල බෝගම්බර වැවේ සිට මෙම උඩවත්තකැලේට උමගක් තිබූ බවද කියැවේ. ඉංග්‍රීසී සමයේ සෙන්පතිවරු හා සොල්දාදුවන් මිහිදන් කල සොහොනක්ද මේ වන මායිමේ පිහිටා ඇත.

එසේනම් ඔබ මහනුවර ශ්‍රී දලදා මාලිගාවට පැමිණි දිනක මේ උඩවත්තකැලේ රාජකීය වන උයනට ගොස් එහි පහස විදීමටද අමතක නොකරන්න. තවමත් දූෂණය වී නොමැති මේ වනය මතු පරපුරටත් දායාද කිරීමට විනාශකාරී ක්‍රියා නොකිරීමටද වග බලාගැනීම ඔබේ යුතුකමකි.

තවත් කියවන්න: 

0 Comments