. සෙම්බුවත්ත කියන්නේ නිවාඩුවකට යන්න සුපිරිම තැනක් තමයි

සෙම්බුවත්ත කියන්නේ නිවාඩුවකට යන්න සුපිරිම තැනක් තමයි



මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇල්කඩුව ප්‍රදේශයේ පිහිටලා තිබෙන සුපිරිම සංචාරක ස්ථානයක් තමයි සෙම්බුවත්ත කියන්නෙ. මේ ස්ථානය පසුගිය දශකය පුරාම වැඩිම සංචාරක ආකර්ෂණයක් හිමිවුනු ස්ථානයක් විදියට අනිවාර්‍යයෙන්ම නම් කරන්න පුලුවන්. ඔබට මේ ස්ථානයට එනවානම් එන්න පුලුවන් මාර්ග 2ක් ප්‍රධාන වශයෙන් තියෙනවා. ඒ අතරින් වඩාත් ප්‍රසිද්ධම මාර්ගය තමා මහනුවර වත්තේගම හරහා ඇල්කඩුවට පැමිණ සෙම්බුවත්තට එන මාර්ගය. අනෙක් එක තමා මාතලේ නගරය උකුවෙල හරහා ඇල්කඩුවට පැමිනෙන මාර්ගය.

ඉතින් මේ සෙම්බුවත්ත කියන්නේ ඇල්කඩුව වැවිලි සමාගමේ වතු අධිකාරිය විසින් පාලනය වන ප්‍රදේශයක්. මෙතන ස්වභාවික උල්පත් ජලයෙන් සෑදුණු සුන්දර වැව වගේම ෆයිනස් ගස් වලින් යුතු වනාන්තරය ත් ඒ අසලම තියෙන තේ වත්තත් එක් කරන්නේ අමුතුම සුන්දරත්වයක්. මේ අමුතුම ලස්සන හා චමත්කාරය විදගන්න දැන් නම් ලාංකිකයෝ වගේම පිටරට සංචාරකයොත් බහුලවම සෙම්බුවත්තට පැමිනෙනවා. මිහිදුම පැතිරිලා තියෙනකොට මේ ස්ථානයේ තියෙන්නේ කියල නිම කරන්න බැරි අමුතුම සුන්දරත්වයක්. මුහුදු මට්ටමේ ඉදලා මීටර 1072ක් වගේ උසකින් පිහිටලා තියෙන නිසා මේ ප්‍රදේශයේ තියෙන්නෙ තරමක් ශීත කාලගුණයක්.

ඉතින් මේ සෙම්බුවත්ත වැවත් හරිම ලස්සන එකක්. මේ වැවේ උපරිම ගැඹුර මීටර් 9-12ත් අතර වෙනවා කියලා තමා ආරංචිය. මේ නිසාම වැවේ නාන්න ඔයාලට අවසර නෑ. වැවට එක් පසෙකින් තියෙන්නේ කැම්බල්ස් ලේන් වන රක්ෂිතයයි. දිය නාන අයට ඒ සදහා වැවේ පසෙකින් කෘතීමව සෑදූ පිහිනුම් තටාකයක් පාලන අධිකාරිය ඉදි කරලා තියෙනවා. ඉතින් දිය නාන්න කැමති අයට ඒ තටාකයට බැහැලා විනෝද වෙන්න පුලුවන්. නමුත් මෙහි ජලය තරමක් ශීතල නිසා වැඩි වෙලාවක් නාන්න නම් හිතෙන්නේ නෑ. ගැඹුර අඩි 5ක් විතර තමා වෙන්නෙ.

ඉස්සර සෙම්බුවත්ත වැව තියෙන තැන තිබිලා තියෙන්නේ සුද්දෝ හදපු තුරඟ පෝලෝ ක්‍රීඩාංගනයක් පස්සේ 1949 දී හදපු තේ කම්හලට විදුලිය ලබාගන්න වුවමනා නිසා පෝලෝ ක්‍රිඩාංගනය තිබුණු තැන වැව ඉදිකරලා තියෙනවා. මේ වැව වටා ඔයාලට ඕන්නම් බෝට්ටු සවාරියක් යන්නත් පුලුවන්. තේ කම්හලනම් දැන් වහලා අවුරුදු 20ක් විතර වෙනවා කියලා තමා ආරංචිය. නමුත් ඒ අවට තියෙන නිවාස වලට අදත් විදුලිය ලැබෙන්නේ මේ වැව නිසා කියලා තමා කියන්නේ. වැව වටේම Summer hut කීපයක්ම පිහිටුවලා තියෙනවා.මේවයේ රෑට ඉන්න වෙන් කර ගැනීම් කරගන්නත් පුලුවන්.



ඉස්සර තේ කම්හල තිබුණු තැනින් රන් සෙම්බුවක් හම්බෙලා ඒක වත්තේ කංකානි කෙනෙක් ඉන්දියාවට අරන් ගියා කියලා තමා කියන්නේ. ඔහුගේ පුතා ඊට පස්සේ එතන කෝවිලක් හැදුවා කියලා තමා කියන්නෙ. ඊට පස්සෙ තමා මේ ස්ථානයට සෙම්බුවත්ත කියන්න පටන් අරන් තියෙන්නෙ.

මෙම ස්ථානය ඇත්තටම සංචාරක ස්ථානයක් බවට පත් කරන්න කටයුතු කරලා තියෙන්නෙ 2005දී ඇල්කඩුව වැවිලි සමාගමට ආව වතු අධිකාරීතුමා විසින්. සාමාන්‍යයෙන් සංචාරකයෙකුගෙන් රුපියල් 200ක වගේ මුදලක් ගන්න පාලනාධිකාරිය ඒ මුදලින් කොටසක් මේ ස්ථානය නඩත්තු කරන්න යොදවනු ලබනවා. මෙම ස්ථානයේ කුඩා දරුවන්ට විනෝද විය හැකි ස්ථානයක් වෙනමත් පිහිටුවලා තියෙනවා.




මේ ස්ථානය හැබැයි පෝය දවසට නම් වහලා තියෙන්නෙ. ඔයාලට මේ සෙම්බුවත්තේ නවාතැන් ඕනෙ නම් ඒකත් වතු පාලන අධිකාරිය හරහා කරගන්න පුලුවන්. Camping වලටත් සෙම්බුවත්ත කියන්නෙ සුපිරි තැනක්. සාමාන්‍යයෙන් 15 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සදහා රුපියල් 15000ක් විතර ඒකට ගන්නවා කියලා තමා ආරංච්ය.

ඔයාලා මේ ස්ථානයට එනවානම් ඔයාලගෙම වාහනයකින් එන්න බලන්න. බස් එකකින් එනවනම් ටිකක් අමාරුයි. බස් එහෙමත් අඩුයි. එහෙනම් මාතලේ නුවර පැත්තේ එන අය මේ සුන්දර සෙම්බුවත්තේ ලස්සන විදලා යන්න එන්න. නුවර ඉදන් කිලෝමීටර 35ක් වගේ දුරක් තමා මෙතනට තියෙන්නෙ.....

මේඅසලම ඇති තවත් සංචාරක ස්ථානයක් ලෙස හුන්නස් ඇල්ල හැදින්විය හැකිය. 

0 Comments