. නුවර යන ගමන් පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානය ටත් ගොඩ වී යමු

නුවර යන ගමන් පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානය ටත් ගොඩ වී යමු


පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානය පිහිටා ඇත්තේ මහනුවර නගරයේ සිට කිලෝමීටර 5ක් පමණ දුරකින් වූ පේරාදෙණිය නගරයේය. මෙය ආසියාවේ ඇති සොදුරුතම උද්භිත උද්‍යාන අතර ප්‍රමුක ස්ථානයක් ගන්නා අතර ලංකාවේ ඇති විශාලතම උද්භිත උද්‍යානයයි.

(Amila Shanuka Jayathilaka Photography)


කොළඹ නුවර මාර්ගයේ පේරාදෙණිය නගරයේ මහවැලි ගග හරහා වූ පාලම මතින් එතෙර වූ විට ඔබ පිවිසෙන ගලහ හන්දියේ මේ රාජකීය උද්භිත උද්‍යානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය පිහිටා ඇත. මෙහි ඉදිරිපස ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පිවිසෙන මාර්ගයයි.

මුහුදු මට්ටමේ සිට මීටර 460ක් උසින් වූ අක්කර 147 ක භූමියක මෙම රාජකීය උද්භිත උද්‍යානය පිහිටා ඇත. එසේම එය මහවැලි ගගට මායිම්ව පිහිටයි. වසර පුරාම උදෑසන 7.30 සිට 5 දක්වා මෙම උද්‍යානය විවෘත අතර නඩත්තු කිරීම උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කරනු ලබයි. ඇතුල්වීම සදහා ටිකට් පතක් මිලදී ගැනීම අනිවාර්‍ය වන අතර පාසල් සිසුන්, දෙස් විදෙස් සංචාරකයින් මිලියන 1.5ක් පමණ වාර්ෂිකව මෙම පේරාදෙණිය උද්භිත උද්‍යානයට පැමිණෙයි.

1371 වසරේදී එවකට රජුවූ තුන්වන වික්‍රමබාහූ රජුගේ රාජ සභාව මෙහි තිබී ඇති බව ඉතිහාසය සදහන් කරයි. එසේම පළමුවන විමලධර්මසූරිය රජු විසින් මෙහි විහාරයක් කරවනු ලැබූ බවත් කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් මෙය උද්භිත උද්‍යානයක් ලෙස නම් කරනු ලැබූ බවත් මූලාශ්‍ර සදහන් කරනු ලබයි. මෙය උද්භිත උද්‍යානයක් ලෙස සැකසීමේ සැලැස්ම ක්‍රියාත්මක කරනු ලැබ ඇත්තේ ඇලෙක්සැන්ඩර් මූං විසින් 1821 වසරේදීය. එසේම 1912 වසරේදී මෙම උද්‍යානයේ අයිතිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පවරන ලදී. ඉංග්‍රීසීන් විසින් එකල ඔවුන්ගේ විවේකය ගත කිරීම සදහා මෙම උද්‍යානය භාවිතා කර ඇත.

පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානය තුළ ශාක වර්ග 4000 ක් පමණ ඇත. ඒ අතර බෙහෙත් පැලෑටි, කුළු බඩු, ඕකිඩ් වර්ග හා තාල වර්ගයේ ශාකත් අඩංගු වේ. එසේම ශ්‍රී ලංකාවේ පළමු තේ පැළය සිටවා ඇත්තේද මෙහිය. උද්‍යානය තුළ ඇවිදීමට තැන් රාශියක් ඇත. එහිදී හමුවන ස්ථාන අතර විශාල මියන්මාර උණ ගස් එකතුව, දෙබිඩි පොල් ගස් මැදින් වැටී ඇති පාර, ඕකිඩ් නිවස, කුළුබඩු උයන, කෘතීම විල හා ගග මැදින් වැටී ඇති සංගිලි පාලමත් කැපී පෙනෙයි.

මෙම උද්‍යානයේදී ඔබට නොයෙකුත් දෙස් විදෙස් නායකයින් රෝපණය කළ ශාක රැසක්ද දැකිය හැකිවේ. ඒ අතර 1857 දී එඩ්වඩ් රජු විසින් රෝපිත බෝ ගස, 1891 වසරේදී රුසියාවේ සාර් රජු විසින් රෝපිත නා ගස, 1893 වසරේ ඔස්ට්‍රියානු අධිරාජ්‍යයා රෝපිත අසෝක ගස හා 1901 වසරේදී එංගලන්තයේ ජෝර්ජ් රජු විසින් රෝපිත සල් ගසත් කැපී පෙනෙයි.

උද්‍යානයට ඇතුල්වන ස්ථානයේ උද්‍යාන සිතියම ඔබට දැකිය හැකි අතර ඔබට පිටින් ආහාර ගෙන ඒමටද අවසර ඇත. එසේම උද්‍යානය ඇතුලතත් ආහාර පාන ලබාගත හැකි වෙළදසැල් කීපයක්ම වේ. නුවර යන ගමන් ඔබේ ගමන් වෙහෙස නිවා ගැනීමට නම් පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානය කදිම ස්ථානයකි. එසේම ඔබ මෙහි පැමිණියොත් මෙහි ඇති ශාක වලට හානියක් නොකිරීමටත් විනීතව හැසිරීමටත් වග බලා ගන්න. එසේනම් මහනුවර ප්‍රදේශයේ සංචාරය කරන ඔබ මෙම උද්‍යානයටත් ගොඩවී යෑමට අමතක නොකරන්න. උද්‍යානයට පිටින් නවාතැන් ගත හැකි ස්ථාන කීපයක්ද ඇත.

ශ්‍රී ලංකාවේ පිහිටා ඇති අනෙකුත් උද්භිත උද්‍යාන

0 Comments