. මඩොල්සිම සැගවුණු අසිරිමත් පුංචි ලෝකාන්තය බලන්න යමු

මඩොල්සිම සැගවුණු අසිරිමත් පුංචි ලෝකාන්තය බලන්න යමු




අප රට අතිශය සුන්දරය. මේ සුන්දර පුංචි රටේ තවමත් බොහෝ දෙනෙක් නොදන්නා ස්ථාන අනන්තය. අද දිනයේ අප මේ ලිපියෙන් ගෙන එන්නේ එකී බොහෝ දෙනෙක් තවමත් නොදන්නා ඌව පළාතේ පිහිටි අපූර්ව ස්ථානයක් පිළිබඳවයි. එනම් මඩොල්සිම පුංචි ලෝකාන්තය පිළිබඳවයි.

ඔබ මේ ස්ථානයට ගමන් කිරීමට කැමති නම් කොළඹ සිට ඔබ පළමුවෙන්ම පැමිණිය යුත්තේ බදුල්ල නගරයටයි. එහි සිට ඔබ දෙවනුව පස්සර නගරයට පැමිණිය යුතුය. පස්සර සිට මඩොල්සිම හරහා පිටමාරුව ගම්මානයට ගමන් කළ විට ඔබට මේ අසිරිමත් ලෝකාන්තය හමුවේ. පස්සර සිට පිටමාරුව ගමට ඇති දුර ආසන්න වශයෙන් කිලෝමීටර 60කට ආසන්න වේ.

පස්සර නගරයේ සිට මඩොල්සිම හරහා පිටමාරුවට ගමන් කරන ලංගම බස් රථයක් ඇත. එය දිනකට දෙවරක් පස්සර සිට සිය ගමනාන්තය බලා ගමන් කරයි. ලෝකාන්තය පිළිබඳව විස්තර අඩංගු සුදු පාට බෝර්ඩ් එක ලගින් දකුණු පසට ඇති අඩි පාරේ පයින් ගමන් කළ විට ඔබට මේ ලෝකාන්තය නැරඹුම් ස්ථානය හමුවේ. එම නැරඹුම් ස්ථානයේ සිට අංශක 180 ක් දක්වා පහළ පිහිටි නැරඹීමට ඔබට පුලුවන්. ඇත්තෙන්ම එහි සිට පහළට ඇත්තේ ඉතා ගැඹුරු ප්‍රපාතයකි. මෙහි සිට බැලූවිට මීගහකිවුල, මොණරාගල, බිබිල, අම්පාර, මහනුවර, මහියංගන, මඩකලපුව වැනි ප්‍රදේශත් සේනානායක සමුද්‍රය, උල්හිටිය ජලාශය, සොරබොර වැව වැනි වැව්ත් පැහැදිලිව දැකගැනීමට පුලුවන. සමහර දිනවලදී මීදුම නිසා පහල ප්‍රදේශ හරියාකාරව නොපෙනේ.

මෙම පිටමාරුව නම් ගම Google Map හි නිසියාකාරව පෙන්නුම් නොකරන බව ඔබ මතක තබා ගන්න. මෙම ලෝකාන්තය පිහිටලා තියෙන්නේ රොස්බරි නම් තේ වතු යාය කෙළවරේය. මේ ප්‍රදේශයේ තේ වතු බහුල වන අතර බහුතරව වාසය කරන්නේ දෙමළ ජනයාය. මෙකී ලෝකාන්තය පිහිටි ස්ථානය මුහුදු මට්ටමේ සිට ආසන්න වශයෙන් මීටර 1400ක් පමණ උසකින් යුක්තය.

ඔබට මෙම ලෝකාන්ත ගමන ඔබේම වාහනයකින් ගමන් කරලීමට හැකිනම් අගනේය. කාර් වලට වඩා වෑන් රථයක් සුදුසු වන්නේ සමහර ස්ථාන්වල අබලන් මාර්ගය කාර්වල යට කොටසේ වැදීමට හැකියාව තිබෙන බැවිනි. පස්සර සිට තේ වතු පසුකරමින් මඩොල්සිම හරහා පිටමාරුවට ඇති මාර්ගය අතිශය සුන්දර එකකි. එහි මගදී හමුවන සුවිශේෂී ස්ථානයක් වන්නේ ඩී.එස් ගලයි. ඊට එකී නම කියනු ලබන්නේ එය ඩී.එස් සේනානායක මහතාගේ රූපයට සමාන නිසා යැයි කියනු ලැබේ.

ඔබට අවශ්‍ය ආහාර හා අනෙකුත් දේවල් මෙන්ම වාහනයට අවශ්‍ය තෙල් ලබාගැනීම මඩොල්සිම කුඩා නගරයේදී සපයා ගැනීමට ඔබට හැකිය. එසේම මෙම මාර්ගයේදී හමුවන තවත් සුන්දර ස්ථානයක් වන්නේ අරදුනු ඇල්ලයි. එසේම පිටමාරුව ගමේම තවත් සුන්දර දිය ඇලි දෙකක් ඇති බව කියැවුනත් ඒ ගැන විස්තර අපට සොයා ගැනීමට නොහැකි විය.

තවමත් අප්‍රකට මේ මඩොල්සිම ලෝකාන්තය වෙත පැමිණෙන්නේ ඉතා කුඩා පරිමාණයේ සංචාරකයින් පිරිසකි. ඉදිරියේදී අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු වුවහොත් විශාල වශයෙන් සංචාරකයින් මේ කරා ඇදී එනු ඇත. එසේනම් බදුලු පුරවරයේ සංචාරය කරන ඔබ මෙම ලෝකාන්තය වෙත පැමිණීමට අමතක නොකරන්න. සාමාන්‍යයයෙන් බදුල්ලේ සිට වුවත් මේ ගමනට සම්පූර්ණ දිනයක් වෙන් කිරීමට සිදුවේ. මෙම පස්සර අවට ඇති තවත් Hiking Location එකක් වන්නේ නමුණුකුල කදු තරණයයි. කලින් අප කත කළ නමුණුකුල කදු තරණයට අදාල ලිපිය ඔබට කියැවීමට නොහැකි වූයේ නම් පහළින් එම ලිපියද කියවන්න.


මෙම මඩොල්සිම ලෝකාන්තය වැනිම තවත් අප්‍රකට ලෝකාන්තයක් වන්නේ නක්ල්ස් ඩීන්ස්ටන් පුංචි ලෝකාන්තයයි. ඒ ගැන කියවන්න මෙතනින්: අප්‍රකට නක්ල්ස් ඩීන්ස්ටන් පුංචි ලෝකාන්තය බලන්න යමු

0 Comments