. ලංකාවේ පළමු තේ වත්ත වන ලූල්කදුර සුන්දරත්වය බලන්න යමු

ලංකාවේ පළමු තේ වත්ත වන ලූල්කදුර සුන්දරත්වය බලන්න යමු



තේ වගාව යනු ලංකාවේ ප්‍රධානතම වැවිලි බෝග වලින් එකකි. තේ වගාවේ ඉතිහාසය අදින් වසර 150කට වඩා වැඩි දුරකට දිව යයි. එකී ඉතිහාසයේ පළමු වානිජ තේ වගාව ආරම්භ වූයේ අද අප කතා කරන ලූල්කදුර වතු යායෙනි. මෙම ලූල්කදුර තේ වතු යාය පිහිටා තිබෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ හේවාහැට දෙල්තොට ප්‍රදේශයේය.

ජේම්ස් ටේලර් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා විසින් 1867 වසරේදී තේ වගාව සදහා මෙම ලූල්කදුර ප්‍රදේශය තෝරාගන්නා ලදී. එතැන් පටන් දියුණු වූ තේ වගාව අද වන විට ලංකාවට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන වැවිලි බෝගය බවට පත් වූයේය. එදා ජේම්ස් ටේලර් තේ දළු නෙලූ තේ ගස් අදද දැකිය හැකි අතර ඒවා අද වන විට මීටර ගණනක් උස ගස් බවට පත්ව ඇති බව මෙහි යන ඔබට දැක ගත හැකි වනු ඇත.

ලූල්කදුර තේ වතුයාය පිහිටා ඇත්තේ දෙල්තොට සිට කිලෝමීටර 7ක් පමණ දුරකිනි. ඔබට මෙම වතුයායට පැමිණිය හැකි මාර්ග කීපයක්ම ඇත. එයින් බොහෝ දෙනෙක් භාවිතා කරන මාර්ගය වන්නේ මහනුවර ගලහ හරහා දෙල්තොටට පැමිණ ලූල්කදුර වෙත යන මාර්ගයයි. ගම්පොල සිට ගලහ වෙතද පැමිණිය හැකි අතර රිකිල්ලගස්කඩ හගුරන්කෙත හරහාද මෙම ලූල්කදුර වතුයායට පාරක්  ඇත.

මෙම වතුයායට යාමේදී ඒ සදහා ටිකට් පතක් ගැනීමට ඔබට සිදුවන අතර ප්‍රධාන පිවිසුමේ සිට කිලෝමීටර කීපයක් වත්ත තුලට ගමන් කළ විට ජේම්ස් ටේලර් මහතාගේ පැරණි ගරාවැටුණු නිවසට පැමිණීමට ඔබට හැකිය. අද වන විට නිවසේ ඉතිරිව ඇත්තේ කුඩා කොටසකි. ඒ අසලම ඔහුගේ ලිදද දැකිය හැකිය. මුහුදු මට්ටමේ සිට මීටර 1400ක් පමණ වන මෙම ස්ථානය අසල සිට තවත් අප්‍රකට සොදුරු කදු මුදුනක් වන කොන්ඩගල කදු මුදුනට යන මාර්ගය ආරම්භ වේ. මෙහි ගිය අපටද කොන්ඩගල කදු තරණය අතපසු විය.

ලූල්කදුර ඇති වඩාත්ම ආකර්ෂණීය ස්ථානය වන්නේ James Taylor Seat එකයි. එනම් එකල ජේම්ස් ටේලර් මහතා විවේක සුවයෙන් ගත කල කදු මුදුනේ පිහිටි View Point එකයි. එතැනට ඔබට වාහනයකින් වුවද යා හැකිය. මෙම ස්ථානයට මහනුවර ප්‍රදේශයේ ස්ථාන රැසක්ම පැහැදිලිව දිස්වේ. එතැන් සිට පෙනෙන දර්ශනය කොතරම් සුන්දරද යත් යලි එම ස්ථානයෙන් අප පිටත් වූයේ දැඩි අකැමැත්තෙනි.

මෙම ලූල්කදුර වතු යාය පිහිටා ඇත්තේ මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්ක මායිමේය. මේ අසලම ඇති තවත් කදුවැටියක් වන්නේ සුන්දර හන්තාන කදුවැටියයි. ඔබ මේ ඓතිහාසික ස්ථානයට යන්නේ නම් ඒ සදහා ඔබේම වාහනයක් භාවිතා කරන්නේ නම් කදිමය. මන්ද නැතිනම් ඔබට පයින් යාමට බොහෝ දුරක් ඇති නිසාවෙනි. ඔබට මේ ගමනේදීම එතැන ඉහළ ඇති කොණ්ඩගල කදු මුදුනටද ගමන් කළ හැකිය. එයද ඔබට අමුතුම අත්දැකීමක් වනු නොඅනුමානය. 

එසේනම් මහනුවර ප්‍රදේශයේ හෝ හගුරන්කෙත ප්‍රදේශයට එන ඔබ මේ ඉතිහාසයේ වැදගත් ස්ථානය නැරඹීමට පැමිණෙන්න. එමෙන්ම අප ඔබෙන් කරන කාරුණික ඉල්ලීම වන්නේ මෙහි නටඹුන් වලට හා පරිසරයට හානිවන කිසිවක් නොකරන ලෙසය. ඔබ ගෙන එන පොලිතීන් ප්ලාස්ටික් ආදිය මෙහි නොදමා රැගෙන යාමටද කාරුණික වන්න.

0 Comments