. ගන්නෝරුව ඓතිහාසික දිවිදොස්ගල කඳු රක්ෂිතය බලන්න යමු

ගන්නෝරුව ඓතිහාසික දිවිදොස්ගල කඳු රක්ෂිතය බලන්න යමු


මහනුවර ප්‍රදේශයේ සංචාරය කරන ඔබ බොහෝ දෙනෙක් නොදන්නා තවත් සුන්දර ස්ථානයක් ගැන තමයි අපි අද සූදානම් වෙන්නෙ. මේ ස්ථානය පිහිටලා තියෙන්නේ මහනුවර නගරයේ ඉදන් කිලෝමීටර 8ක් වගේ දුරකින්. පේරදෙණිය නගරයේ ඉදන් නම් කිලෝමීටර 3ක් වගේ දුරකින්. මේ කියන්න යන්නෙ ඇත්තටම දිවිදොස්ගල රක්ෂිතය ගැන.

දිවිදොස්ගල යන්න නම් ඔයාලට පැමිණිය හැකි මාර්ග 2ක් තියෙනවා. මහනුවර ඉදලා එනවනම් ගැටඹේ පාලම උඩින් ගන්නෝරුව කෘෂිකර්මය පසුකරලා රණබිම රාජකීය විද්‍යාලය ලගට එන මාර්ගයත් පේරාදෙණිය නගරයේ ඉදන් ගන්නොරුව මාර්ගයේ රණබිම රාජකීය විද්‍යාලයට එන මාර්ගයත් තමා ඒ ප්‍රධාන මාර්ග දෙක. මුරුතලාව නගරයේ ඉදන් ගන්නොරුව දෙසට ආවොත් මේ ස්ථානයට එන්න පුලුවන්. රණබිම රාජකීය විද්‍යාලයට පිටුපසින් තියෙන අඩි පාරේ ගියහම ඔයාලට මේ රක්ෂිත වනයට පිවිසෙන්න පුලුවන්.

දිවිදොස්ගල හා මේ අවට තිබෙන ප්‍රදේශය ඓතිහාසික වශයෙන් වැදගත් වන්නේ ඉතිහාසයේ සදහන් වන ගන්නෝරුව සටන සිදුවූයේ මෙම භූමියේ වීමයි. 1638 වසරේදී සිදුවූ එම දරුණු සටනින් පෘතුගීසින් පරදා උඩරට හමුදාව ජය ගත්තේය. එකල මෙම දිවිදොස්ගල කදු මුදුනේ සිට පෘතුගීසි හමුදාවට දුනුවායන් විසින් පහර දුන් බව සදහන් වේ. එසේම මෙම ගන්නෝරුව ප්‍රදේශයේ ලංකාවේ පලමු කෝපි වත්ත ආරම්භ කලේ 1825දී එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවයා විසිනි.

හෙක්ටයාර 267ක් දක්වා පැතිරෙන දිවිදොස්ගල රක්ෂිතය මහනුවර ප්‍රදේශයේ ජෛව විවිධත්වය ඉහලම තැනයි. මේ රක්ෂිතයට යටිහලගල, මුරුතලාව, ගන්නෝරුව, උඩගම, හල්ලොලුව යන ගම් මායිම්ව පවතිනවා. කොහොඹා කංකාරි ශාන්තිකර්මයේ සදහන් දිවිදොස්ගල ලෙස හැදින්වෙන්නේ මෙම කදු රක්ෂිතය ලෙස හැදින්වේ. දිවිතීයික වනයක් වන මෙහි එක් අන්තයක තුත්තිරිගල නම් ගලත් අනෙක් අන්තයේ දිවිදොස්ගලත් පිහිටා තිබෙනවා. කන්දේ උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර 755 පමණ වෙනවා.

සත්ව විද්‍යාඥයන්ට අනුව පක්ෂි විශේෂ 92ක්, ක්ෂීරපායි විශේෂ 16ක් හා කටුසු විශේෂ 19ක් මෙහි වාසය කරනවා. එයින් කටුසු විශේෂ 9ක් අප රටට ආවේණිකයි. රණවනගේ මාපිලා යනු මෙම දිවිදොස්ගලට ආවේණික සර්පයෙකි. සමනල විශේෂ 33ක් ආදී වශයෙන් විශාල සතුන් ප්‍රමාණයක් ඔබට මෙම රක්ෂිතයේදී දැකගන්න පුලුවන්.

ඒ වගේම මේ කදු මුදුනට පේරාදෙණිය හා මහනුවර ප්‍රදේශවල ඇති සුන්දරත්වය මනරම්ව දිස්වෙනවා. මහවැලි ගගත් ඇතුලුව පෙනෙන එම දර්ශනය අතිශය සුන්දරයි. මේ සුන්දරත්වය බලන්න ඔබත් මේ ස්ථානයට පැමිණිය යුතුයි. තවමත් ප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් නොවුනත් මේ ස්ථානය පොලිතීන් ආදියෙන් දැනටමත් දූෂණය වෙලා ඉවරයි. මෙතනට පැමිණෙන ඔබ මේ ඓතිහාසික රක්ෂිතය විනාශ වන ආකාරයේ වැඩ නොකරන්න යනුවෙන් අපි ආදරයෙන් ඉල්ලා සිටිනවා.

මෙම දිවිදොස්ගල සිට ඓතිහාසික නෙල්ලිගල පුදබිමටත් පේරාදෙණිය මල්වත්තටත් ඇත්තේ ඉතාම ආසන්න දුරක්. ඒ නිසා ඒ ස්ථානවලට එන ඔයාලා මේ දිවිදොස්ගලටත් ඇවිල්ලා යන්න අමතක කරන්න එපා.

0 Comments