. සුන්දර රාවණා ඇල්ල නැරඹීමට යමු

සුන්දර රාවණා ඇල්ල නැරඹීමට යමු


රාවණා ඇල්ල යනු ලංකාවේ දියඇලි ලැයිස්තුවේ ඇති තවත් සුන්දර හා ලස්සනම දිය ඇල්ලකි. මේ දිය ඇල්ල පිහිටලා තියෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල නගරයට ආසන්න ඇල්ල වැල්ලවාය මාර්ගයේය. ඇල්ල නගරයේ සිට කිලෝමීටර කීපයකින් මෙම දිය ඇල්ල වෙත ලගා විය හැක. ඔබ ඇල්ල නගරයේ සංචාරයට පැමිණෙන්නේ නම් නොවරදවාම මෙම දිය ඇල්ල නැරඹීමට අමතක නොකරන්න.

(Photo: Shashitha Wanigathunga)

කදු මුදුන් දෙකක් මතින් එක වැරම කඩා හැලෙන ජල කද නිසා මෙම දිය ඇල්ල අතිශය සුන්දරය. ඇල්ල අවට ඇත්තේ වනාන්තරයකි. මෙය උසින් මීටර 25ක් පමණ වන අතර ඇල්ල අසලම තිබෙන පාලමේ සිට ඔබට මෙම රාවණා ඇල්ලේ ලස්සන අත්විදිය හැකිය. බඹරගම ඇල්ල ලෙසද හදුන්වන මෙම දිය ඇල්ල කිරිදි ඔයට සම්බන්ධ වන අතු ගංගාවකින් පෝෂණය වේ.

දිය ඇල්ල අවට ප්‍රදේශයට වසරේ බොහෝ කාලයක් පවතින්නේ වියළි කාලගුණයකි. වැස්ස පවතින්නේ බොහෝ විට ඔක්තෝබර් - දෙසැම්බර් කාල වකවානුවේ හා මැයි - ජුනි කාලයේය. ඒ කාලයට අධික ජල කඳක් පවතින නිසා ඇල්ල අසලට යාම භයානකය.

මෙම රාවණා ඇල්ල තවත් සුවිශේෂ වන්නේ රාවණා පුරාවෘතය සම්බන්ධ කතා රැසක් ඇති බැවිනි. ජනප්‍රවාද අනුව රාවණා රජු සීතා කුමරිය මේ අසල ගුහාවක සගවා තබාගත් බව කියැවේ. එසේම රජු එහිදී රාවණාහත්ත වාදනය කළ බවද කියවේ. රාවණා ඇල්ල පුරාණ විහාරයට ගමන් කළ විට ඔබට ඒ කියන ගුහාව දැකගැනීමට හැකිය.

එසේනම් ඔබ බදුලු පුරවරයට හෝ ඇල්ල ප්‍රදේශයට පැමිණෙන්නේ නම් මෙම දිය ඇල්ල බැලීමටද අනිවාර්‍යයෙන්ම පැමිණෙන්න. කිසිවිටෙක ඇල්ල අවට දිය නෑම නම් කරන්න එපා. අද වන විට රාවණා ඇල්ල යනු දෙස් විදෙස් සංචාරකයින් විශාල ලෙස පැමිණෙන තැනක් වන අතර කිසිවිටෙක ඔබ ගෙන එන අපද්‍රව්‍ය පොලිතීන් ප්ලාස්ටික මෙහි දමා නොයන්න.  

තවත් කියවන්න: 


0 Comments