. නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වන්දනා මාන කිරීමට යමු

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වන්දනා මාන කිරීමට යමු


නෙල්ලිගල යනු පසුගිය වසර කිහිපය තුළ නිතර අසන්නට ලැබුණු සංචාරක ස්ථානයකි. පසුගිය කාලය පුරාවටම මේ ලිපිය ලියන මා හට මෙහි ගමන් කළ පුද්ගලයින් සමාජ ජාලා වලට එක්කල ඡායාරූප රැසක් දැකගැනීමට හැකිවූ නිසා මාද මේ ස්ථානය පිළිබඳව සොයා බැලීමට සැරසුණි. ඇත්තෙන්ම මෙම නෙල්ලිගල යනු සංචාරක ස්ථානයක් සේම වන්දනා මාන කරන්නා වූ සිද්ධස්ථානයකි.

ඔබ මහනුවර නගරයට සංචාරයට පැමිණේ නම් මේ ස්ථානයට ඒමට අමතක නොකරන්න. මහනුවර සිට කිලෝමීටර 12ක් පමණ දුරකින් මෙම සිද්ධස්ථානය පිහිටා ඇත. ඔබ බොහෝ විට මහනුවර අවට සංචාරය කිරීමේදී බොහෝ විට ගමන් කරන්නේ පේරාදෙණිය මල් වත්ත, ගඩලාදෙණිය, ඇම්බැක්ක, ලංකාතිලක යන විහාර හා අම්බුලුවාව කුලුන නැරඹීමටය. ඔබ ඔබේ මීලගට මහනුවරට පැමිණෙන්නේ නම් මෙම සංචාරක ස්ථානයට ඒමට අමතක නොකරන්න.

මහනුවර - කොළඹ මාර්ගයේ කොළඹ සිට එන විට හමුවන පිළිමතලාව නගරය පසුකර මද දුරක් ගමන් කල විට ඔබට පොල්ගහමුල මංසන්ධිය හමුවේ. එයින් වම් පසට ඇති මාර්ගයේ මුරුතලාව පසුකර කිලෝමීටර 7 ක් පමණ ගමන් කළ පසු හමුවන කොබ්බෑකඩුව ගම්මානයේ මෙම නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය පිහිටා ඇත. ඇත්තෙන්ම මෙය අපේ වචනයෙන් කීවොත් පන්සලකි.

මෙම සිද්ධස්ථානය මීට වසර කීපයකට පෙර නිර්මාණය වූයේ පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ සංකල්පයක් අනුවය. එහි සියලු ගෞරව උන්වහන්සේට හිමිය. බුදුරජාණන් වහන්සේගේ හා මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා තැන්පත් කොට සෑදූ අඩි 75ක් උස චෛත්‍යයකින් හා සුවිශාලා ධර්මශාලාවකින් මෙම සිද්ධස්ථානය සමන්විතය.

එසේම මෙම සිද්ධස්ථානය සංචාරකයින්ගේ පාරාදීසයකි. ඊට හේතු වන්නේ මෙම පන්සල අවට පරිසරයේ සුන්දරතවයයි. එය අතිශය සුන්දරය. මෙම පන්සල පිහිටි ගල් තලාව මුදුනට හන්තාන, නක්ල්ස් කදු, අලුදෙණිය කදු, අලගල්ල, බතලේගල, අම්බුලුවාව, සමනල කන්ද හා පිදුරුතලාගල කදු මුදුන පැහැදිලිව දර්ශණය වේ. ඔබ උදෑසනක මෙහි ගමන් කලහොත් හිරු නැග එන විට මෙහි චමත්කාරය ඉතා විචිත්‍රවත්ව අධ්‍යනය කළ හැකිවනවා නොඅනුමානය. මේ සුන්දරත්වය නිසාම දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් විශාල ලෙස දැන් මෙම ස්ථානය නැරඹීමට පැමිණේ. එසේම මීදුම ගලන වෙලාවන්වලදීද මෙහි ඇත්තේ අමුතුම චමත්කාරයකි.

මාර්ග පහසුකම් වැඩි දියුණු කර ඇති නිසා විශාල බස් වැනි වාහනවලටද මෙම සිද්ධස්ථානයටම ගමන් කළ හැකිවේ. ඒ නිසා මහනුවර සංචාරයට පැමිණෙන ඔබ මෙම නෙල්ලිගල පුදබිමේ සංචාරයට අමතක නොකරන්න.

0 Comments