. සුන්දර නමුණුකුල කදුවැටිය තරණය කරමු

සුන්දර නමුණුකුල කදුවැටිය තරණය කරමු


ඉතින් මේ ලිපියෙදි අපි කියන්න යන්නෙ ලංකාවේ Hiking වලට වගේම Camping වලට ගැලපෙන තවත් සුපිරි කදුවැටියක්. ඒ තමයි නමුණුකුල කදුවැටිය. මේ කදුවැටිය තමයි ඌව පළාතේම තියෙන උසම කදුවැටිය. ඔබ කවදාහෝ බදුල්ල පස්සර මාර්ගයේ ගමන් කර තිබේ නම් මේ කදුවැටිය දැක නොතිබීමට කිසිම හේතුවක් නැත. නැමුණු කුල යන නම ඇතුව මේ කදුවැටියට නමුණුකුල ලෙසින් නම් කල බව කියැවේ. ඉතාම උසින් වැඩි කන්දක් වන නමුණුකුල කදුවැටිය ලංකාවේ උසම කදු වැටි 10 අතර ඇති කදුවැටියකි.මේ කන්දේ උසම ස්ථානය මුහුදු මට්ටමින් මීටර 2036ක් වෙනවා.

ඉතින් කලින් කීවා වගේ Hiking වලට වගේම Camping වලට සුපිරිම කන්දක් තමා මේ නමුණුකුල කදුවැටිය. ඔයාලා මේ කදුවැටිය තරණය කරන්න එනවානම් ඔයාලා මුලින්ම බදුල්ල නගරයට පැමිනෙන්න ඕනෙ. බදුල්ලේ ඉදලා මේ කදුවැටියට යන ප්‍රධාන පාරවල් දෙකක් තියෙනවා. එකක් තමා ස්ප්‍රින්වැලි මේමලේ නල්ලමලේ හරහා මාර්ගය. අනෙක් මාර්ගය තමා 3 කණුව ග්ලේන් ඇල්පින් හරහා දියනගල මාර්ගය. මේ මාර්ග දෙකේම කන්දට නගින මූලික ස්ථානවලට යන්න ඔයාලට කිලෝමීටර 15 ක් විතර බදුල්ලේ ඉදලා යන්න ඕනෙ. යන මාර්ග දෙකම ලස්සනයි. ලස්සන තේ වතු ගොඩාක් පසුකරලා තමා යන්නේ.

ඔයාලා ස්ප්‍රිංවැලි, මේමලේ, නල්ලමලේ හරහා මාර්ගයේ ගමන් කරනවා නම් බසයකින් ඔබට නල්ලමලේට ගමන් කල හැකිය. එතැන් සිට හමුවන දේවාලය පසුකරන විට ඔබ නමුණුකුල කදුවැටියේ භාගයකට වඩා දැනටමත් තරණය කර ඉවරය. දේවාලයට වැද පුදා ගමන් කිරීමටද අමතක නොකරන්න. දේවාලය අසල සිට ටර්පන්ටයින් ගස් යාය හරහා ඇති අඩි පාරේ පැයක පමණ ගමනකින් කන්ද මුදුනට පැමිණීමට ඔබට හැකිය.
එසේම බදුල්ල පස්සර මාර්ගයේ 3 කනුව හරහා දිවෙන්නේ කන්දට පැමිණිය හැකි අනෙක් මාරගයයි. බදුල්ල පස්සර මාර්ගයේ 3 කණුවට පැමිණ ග්ලේන් ඇල්පින් තේ වතුයාය හරහා කිලෝමීටර 10ක් පමණ ගමන් කල විට දියනගල ග්‍රාමය හමුවන අතර එහි සිට පැයක පමණ ගමනකින් කන්ද මුදුනට යෑමට ඔබට හැකිය. කැලය හරහා ගමන් කරන මාර්ග දෙකම තරමක් දුෂ්කර හා වෙහෙසකරය. නමුත් ඉහලට යනවිට දැනෙන සීතල නිසා එම මහන්සිය නොදැනේ.

නමුණුකුල කදුවැටිය යනු පැරණි ඉන්දික දෙවියන් වැඩ සිටි බිම ලෙස සැලකෙන නිසා ඔබ මේ කදුවැටිය නැගීමට පෙර තම ආගම් අනුව කටයුතු කරන ලෙස මා ඉල්ල සිටිමු. මන්ද මෙම කදුවැටියේ යම් බලයක් ඇති බව බදුලු වාසීන් විශ්වාස කරන නිසාය. එබැවින් මත්පැන් පානය කිරීම නොකරන ලෙසද එහිදී ශීලාචාරව හැසිරෙන ලෙසද අප ඉල්ල සිටිමු.

ඇත්තෙන්ම කදුවැටියේ මුදුන අතිශය සුන්දරය. බොහෝ වේලාවට කදුමුදුන මීදුමෙන් වැසී යයි. මීදුම් නොමැති වේලාවට කදුවැටියේ සිට ලංකාවේ දකුණු, නැගෙනහිර, ඌව මධ්‍යම යන පළාත් වල පහත්බිම් මෙම කන්දේ සිට නැරඹිය හැකිය. කදු මුදුනේ සිට බලන කල ඇත්තෙන්ම ඇත්තේ අමුතුම ලස්සනකි. එසේම කදුවැටියේ මුදුනේ තරමක් විශාල ඉඩපහසුකම් නිබෙන නිසා Camping වලට ඉතා හිතකරය. එසේම කදුවැටිය මුදුනේ ජලය ලබාගත හැකි ලිදක්ද ඇත. එබැවින් ඔබ මෙම කදුවැටිය තරණය කරන්නේ නම් ජලය රැගෙන යාම අනවශ්‍යය.

කදුවැටිය මුදුනේ ඇත්තේ මල් වලින් අනූන ලස්සන පරිසර පද්ධතියකි. ඒ නිසා ඔබ එහි ගොස් Camping කලාට වරදක් නැත. එහි ඇති සුන්දර පරිසරයට කිසිවිටෙක හානියක් නොකරන්න. මෙහි සිට දකින හිරු උදාව අතිශය ලස්සනය. එසේම උදෑසන හා රාත්‍රී කාලයේ කදුමුදුනේ ඇත්තේ දැඩි ශීතලකි. ඒ නිසා ඔබ ඊට සූදානම්ව මෙම කදුවැටිය තරණය කරන්න.

0 Comments