. නක්ල්ස් කදු මුදුනේ සැගවුණු අප්‍රකට ඩීන්ස්ටන් පුංචි ලෝකාන්තය බලන්න යමු

නක්ල්ස් කදු මුදුනේ සැගවුණු අප්‍රකට ඩීන්ස්ටන් පුංචි ලෝකාන්තය බලන්න යමු



නක්ල්ස් කදුකරය කියන්නේ ලංකාවේ තවත් ඉතාම වටිනා පරිසර පද්ධතියක්. ඉතින් මේ නක්ල්ස් කදුකරයේ සංචාරකයින්ට යා හැකි තැන් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවා අතර මීමුරේ ඓතිහාසික ගම්මානය, රිවර්ස්ටන් හෙවත් පිටවල පතන හා දෝතළුගල කදවුරු බිම ප්‍රධාන වෙනවා. මේ ඉතා ආසන්න කාලයේ ජන්ප්‍රිය වුණු තවත්  තැනක් තමයි යහන්ගල කියන්නෙ. ඉතින් මේ ස්ථානවලට අමතරව තිබෙන තවමත් අප්‍රකට සොදුරු සංචාරක ස්ථානයක් තමයි ඩීන්ස්ටන් පුංචි ලෝකාන්තය.



නක්ල්ස් කදුකරයේ ප්‍රධාන වශයෙන් පුංචි ලෝකාන්ත දෙකක් තියෙනවා. එකක් තමයි පිටවල පතනේ තියෙන ලෝකාන්තය. අනෙක් එක තමයි අපි මේ අද කතා කරන ඩීන්ස්ටන් පුංචි ලෝකාන්තය.

මේ ලෝකාන්තය පිහිටලා තියෙන්නෙ හුන්නස්ගිරිය මීමුරේ මාර්ගයේ. ඉතින් ඔබ කවදාහරි මීමුරේ සංචාරය කරනවා නම් ඔබට යන මාරගයේ ඔබේ වාහනය නවතා මේ ලෝකාන්තය නරඹා යන්න පුලුවන්. මාරගයේ සිට කිලෝමීටරයක පමණ දුරකින් මේ ලෝකාන්තය තියෙන තැනට ලගාවෙන්න ඔබට පුලුවන්. හුන්නස්ගිරිය නගරයේ සිට කිලෝමීටර 7ක් පමණ දුරක් ගියවිට තමයි මේ පුංචි ලෝකාන්තය හමුවන්නේ. යන මාර්ගය දැන්නම් ලොකු අමාරුවක් නෑ. මාර්ගය අවට තේ වතු තිබෙන නිසා හරිම ලස්සනයි. ඒ වගේම යන මාර්ගයට තවත් නක්ල්ස් කදු ශිඛර දෙකක් වන නවනගල කන්ද හා මැදමහනුවර කන්දද මනාව දිස්වේ. 

ඉතින් මෙලෙස කිලෝමීටර 7ක් විතර යනවිට ඔබට හමුවෙනවා නක්ල්ස් සංරක්ෂණ මධ්‍යස්ථානය. මෙතනින් ඔබ මේ ඩීන්ස්ටන් ලෝකාන්තය බලන්න යන්න අවසර ටිකට් පතක් ලබා ගන්න ඔබට සිදුවෙනවා. ඉන් අනතුරුව කිලෝමීටරයක් පමණ වනය ඇතුලට ගියවිට ඔබට මේ ලෝකාන්තය දිස්වෙනවා. මේ වනය මැදින් යන අතරතුර කුඩා වැවක් හා ගිමන් නිවාගත හැකි තැනුත් තියෙනව. හරිම ලස්සන පරිසරයක් තමා මෙහි තියෙන්නෙ.

ලෝකාන්තයෙන් පහළ බැලූ විට උඩදුම්බර නගරය, කලුගල, තලගුනේ, මඩුගල්ල, මහනුවර මහියංගන මාර්ගය, මහියංගනය, ගිරාදුරුකෝට්ටේ වගේ ප්‍රදේශ පැහැදිලිව දැකගන්න පුලුවන්. ඉතා ප්‍රපාතාකාර බෑවුමක් නිසා ඔබ වැටුනොත් යලි සොයා ගැනීමටවත් නොහැකි වෙනවා. ඒ නිසා මෙහි දී ඔබේ ආරක්ෂාව ගැන සිතීමත් ඉතා වැදගත්. ඒ වගේම මෙතනට යහන්ගල වගේ කදුත් සොරබොර වගෙ වැව් එහෙමත් ඈතින් දිස් වෙන්වා. හරිම ලස්සන දර්ශනයක් තමා මෙතනදී දිස්වෙන්නෙ.

ඉතින් ඔයාලත් මීමුරේ ගමන් කරනවා නම් මේ ඩීන්ස්ටන් පුංචි ලෝකාන්තය නැරඹීමටත් අමතක කරන්න එපා. ඔයාලා ටිකට් ගන්න නක්ල්ස් සංරක්ෂණ මධ්‍යස්ථානයෙන්ම තමා අපි අර කලින් කීව දෝතළුගල කදවුරු බිමට යෑමටත් අවසර ගන්න ඕනෙ. මෙතනත් තවම අප්‍රකට තැනක් නිසා පරිසරය තවම දූෂණය වෙලා නෑ. ඒ නිසා මෙතනට එන ඔයාලා ඒ පරිසරය දූෂණය කරන්න නම් එපා කියලා අපි ඉල්ලා සිටිනවා.

0 Comments