. සුන්දර ඇබර්ඩීන් ඇල්ල බලන්න යමු

සුන්දර ඇබර්ඩීන් ඇල්ල බලන්න යමු


ඉතින් අද අපි මේ ලිපියෙන් කතා කරන්න යන්නෙ ඇබර්ඩීන් ඇල්ල ගැන. ඇබර්ඩීන් දිය ඇල්ල කියන්නෙ ලංකාවේ උසම දිය ඇලි ලැයිස්තුවේ 18 වෙනි උසම දිය ඇල්ල. ඇත්තටම කිව්වොත් මේ දිය ඇල්ල ගොඩාක් ලස්සන එකක්. ලංකාවෙ තියෙන ලස්සනම දිය ඇලි ලැයිස්තුවේ නම් මේ ඇල්ලට උඩම ස්ථානයක් අනිවාර්‍යයෙන්ම ලැබෙන්න ඕනෙ. මොකද ඒ තරම්ම මේ දිය ඇල්ල ලස්සනයි. නිකන් පිටරටක ගියපු හැගීමක් තමා එන්නෙ.

මේ දිය ඇල්ලට මේ ඇබර්ඩීන් කියන නම ලැබිල තියෙන්නේ ස්කොට්ලන්ත ජාතිකයෙක් නිසා. මේ ඇල්ල අවට තිබුනු තේ වත්තකට දාපු නමක් තමා මේ ඇබර්ඩීන් කියන්නෙ. ඉතින් ඒකට ඒ නම යොදලා තියෙන්නෙ අයිති කාර සුදු මහත්තයා ජීවත් වුනු ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් නගරය සිහිවෙන්න. ඉතින් ඒ නමින්ම මේ දිය ඇල්ලටත් නම වැටුනා කියලා තමා කියන්නෙ.

ඉතින් මේ ඇබර්ඩීන් දිය ඇල්ල නිර්මාණය වෙන්නෙ කැළණි ගගේ අතු ගංගාවක් වුණු කෙහෙල්ගමුව ඔයෙන්. මේ දිය ඇල්ල ආසන්න ප්‍රදේශයක තමා ලක්ෂපාන දිය ඇල්ල පිහිටලා තියෙන්නෙත්. ඉතින් මේ දිය ඇල්ලට යනවනම් ඔයාලා කොළඹ හැටන් පාරෙ කිතුල්ගල පහුකරාම තියෙන කලුගල මංසන්ධියත් පහුකරලා යන්න ඕනෙ. කලුගල පහුකරාම ටිකක් දුර ගියාම මේ ඇල්ලට යන මාර්ගය තියෙනවා. එතනින් කිලෝමීටර 15ක් විතර ගියාම කලවැල්දෙණියේ තියෙන පිවිසුම ඔයාලට හමුවෙනවා. ඉතින් මේ දිය ඇල්ලට යන තවත් පාරක් තියෙනවා ගිනිගත්හේන නගරයට ඇවිල්ලා හැරිලා යන එකකුත්. ඇබර්ඩීන් ඇල්ල පිහිටලා තියෙන්නෙ අඹගමුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ.

කෝමහරි දිය ඇල්ල අසල ඇල්ලේ සුන්දරත්වය බලන්න පීඨිකාවකුත් තියෙනවා. එහි ඉදන් ඉතින් ඇල්ලේ ලස්සන බලන්න පුලුවන්. කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නෑ. ඒ තරම් ලස්සන දිය ඇල්ලක් තමා මේක. ඉතින් දිය ඇල්ලේ පහලට යන කෙනෙක්ට එහි ගල්තලාවට යන්නත් පුලුවන්. එතන ඉදන් ඇල්ලේ ලස්සන බලන්න පුලුවන් නම් ඒක අමුතුම ලස්සනක්.

දිය ඇල්ලේ එක පැත්තක ස්වභාවික හුණුගල් ඛාදනය වෙලා හැදුනු ගුහාවකුත් තියෙනවා. එතනට දිය ඇල්ලේ ලස්සන වෙනම විදියකට බලන්න පුලුවන් ඔයාලට. හැබැයි ලංකාවේ අනෙක් දිය ඇලි වගේම මෙතනත් දිය නාන එකනම් සුදුසු කටයුත්තක් නෙමේ. මෙතන්දී නාන්න ගිහින් මැරුණු අය ගැන ඕනෙ තරම් සාක්ෂි තියෙනවා කියලයි ආරංචිය. ඒ නිසා යන ඔයාලා තමන්ගේ ආරක්ෂාව ගැන බලාගන්න.

ඉතින් ඔයාලා ශ්‍රී පාදය නරඹන්න හරි කොලඹ හැටන් පාරෙ හරි යනවනම් ලස්සන ඇබර්ඩීන් දිය ඇල්ලේ ලස්සන බලන්නත් යන්න අමතක කරන්න එපා.

0 Comments