. 18 වංගුව හරහා මහියංගණය යමු

18 වංගුව හරහා මහියංගණය යමු

ඔබ මහනුවර-මහියංගණය මාර්ගයේ ගමන් කළ අයෙකු නම් ඔබට මේ අද අපි කතා කරන දහ අට වංගුව හම්බෙන්නට ඇති. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඉතා ප්‍රපාතාකාර බෑවුමක පිහිට් වංගු 18 හි ඇති බිහිසුණු බව නිසාය. නමුත් වර්තමානයේ එහි ඇත්තේ වංගු 17ක් පමණකි. නව මාර්ග සංස්කරණය සිදුවීම නිසා මෙහි ඇති බිහිසුණු බව අද දක්නට නොමැතිය. නමුදු අදින් දශක කීපයකට පෙර මෙහි ගමන් කරලීම අතිශය ත්‍රාසජනක විය.

මෙම දහ අට වංගුව ඔබට හමුවන්නෙ මහියංගනය සිට හසලක හරහා කිලෝමීටර කීපයක් ගමන් කළ පසුය. ඔබ මහියංගණය සිට පැමිණෙන විට ඔබ කන්ද මුදුනට ගමන් කරන නිසා එහි ත්‍රාසජනක බව අඩුය. නමුත් මහනුවර සිට ඔබ පැමිණෙන්නේ නම් ඔබ ගමන් කරන්නේ කන්ද පහලට බැවින් ත්‍රාසජනක අත්දැකීමක් ඔබට නිසැකවම හිමිවනවා නොඅනුමානය. ඔබ මහනුවර සිට උඩදුම්බර නගරය පසුකර කිලෝමීටර 15ක් පමණ ගමන් කළ පසු මෙහි වංගු බැසීම ආරම්භ වේ.

18 වංගුව තවද විශේෂ වන්නේ එහි ඇති ත්‍රාසජනක බව නිසාම නොවේ. එහි සිට ඔබ කන්ද පහළ බැලුවහොත් ඔබට මහියංගණ සිට පොලොන්නරුව අම්පාර දක්වා ඇති සියලු ප්‍රදේශ මනරම්ව දිස්වේ. එහි ඇත්තේ චමත්කාර දර්ශනයකි. තවද සොරබොර, උල්හිටිය වැනි ජලාශත් විශාල කෙත්වතුත් මනරම්ව මෙහිදී දැකිය හැකිය. තවද මෙම 18 වංගුව වැටී ඇත්තේ වික්ටෝරියා රන්දෙනිගල රංටැඹේ අභය භූමිය හරහා බැවින් මෙහිදී ඔබ පසුකරන්නේ කැළෑ ප්‍රදේශයකි. ඔබ බසයකින් තොරව කාරයකින් හෝ වෙනත් වාහනයකින් නම් මෙහි එක් ස්ථානයක ඔබට වාහනය නවතා ගිමන් හැර අවට සිරිය නැරබීමට දැන් අවකාශ ඇත. එබැවින් ඔබ මහනුවර සිට මහියංගණයට කෙදිනක හෝ ගියොත් මෙහි සිරිය නැරඹිමට අමතක නොකරන්න.

මෙහි ඉතිහාසය සියවස් දෙකක අතීතයකට රැගෙන යයි. එකල උඩරට වතුවගාව ජනප්‍රිය වීම නිසා බ්‍රිතාන්‍යයන් මෙම මාර්ගය දියුණු කළ බවට ඉතිහාසය සදහන් කරයි. එකල මෙහි ගමනාගමනය අතිශය දුෂ්කරය. එකල රිවස් කිරීමට නොහැකිව ගමන් කළ හැකිව තිබුණේ වංගු 18න් දෙක තුනක් පමණි. මෙම මාර්ගයෙන් ඉවතට පැන පහළ ප්‍රපාතයට වැටී විනාශ වූ බොහෝ වාහන වූ බව ප්‍රදේශවාසීන් පවසයි. මීට හේතුව එකළ පැති බැමි හෝ නොමැති වූ බැවිනි. වාහන දෙකක් මාරු වූයේ එකල බොහෝ අපහසුවෙන් බව පැවසේ. නමුත් වර්තමානය වනවිට මාර්ගය දියුණු වී ඇති අතර එක් වංගුවක් සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇත. තවත් මෙම වංගු 18ම පිහිටියේ කි.මි ½ වැනි ලම්බක උසක් ඇතුලතින් බව පැවසේ. එසේනම් මෙහි සිරි අසිරි විදීමට ඔබටත් ආරාධනා.....!

0 Comments